සුරතල් සතුන් ගෙන් කොරෝනා බෝවන්නේ නැහැ

March 13, 2020

කොරෝනා[COVID 19] වැළඳුන ශ්‍රීලාංකිකයන් අපේ රටතුලින්ම හමුවීම හේතුවෙන් මුලුමහත් සමාජයම මහත්වු භීතියකට පත්ව තිබෙනවා. පාසැල් සියල්ල වසාදමා තියෙනවා.

ඒ හේතුවෙන්ම බියටපත් ජනතාව මාස ගනනාවකට අවශ්‍ය කෑම බීම ඇතුලු පාරිභෝගික ද්‍රව්‍ය රැස්කර තබාගැනීම සඳහා පෙළඹීම හේතුවෙන් බොහෝ සුපර්මාර්කට් හිස් වෙලා.ඒ අතර මෙම රෝගය පැතිරීම පිළිඹඳ නොයෙකුත් විද්‍යාත්මක නොවන ප්‍රලාපයන් ද පැතිරයමින් තියෙනවා.

අපේ රටේ වර්තමාන තත්වය අනුව රෝගියෙකු දෙදෙනෙකු හමුවීම මත එම රෝගය වසංගත තත්වයක් ලෙසින් සලකා ජනජීවිතය අඩාලවන අයුරින් කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

ආයුර්වේද බෙහෙත් විකුණන වෙළඳසැල් අසල දිගු පෝලිම් දකින්නට ලැබුනේ පෙරුම්කායම් මිළදීගැනීම සඳහායි.පෙරුම්කායම් ආහාරයට ගැනීමෙන් හෝ ශරීරය මත පැළඳ ගැනීමෙන් කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ආරක්ෂා විය හැකි බව කිසිදු විද්‍යාත්මක පරික්ෂණයකින් තහවුරුවෙලා නැහැ.

ආසාදිත සිරුරු තරල බිඳිති මගින් බෝවෙන මෙම රෝගය බහුලවම බෝවන්නේ එම ආසාදිත තරලයන්, ආසාදිත පුද්ගලයන් විසින් පරිහරණය කළ පෘෂ්ඨයන් මත තැවරී තිබෙන විට නිරෝගී පුද්ගලයෙක් විසින් එම පෘෂ්ඨයන් ස්පර්ශ කොට නිසි පරිදි විෂබීජ නාශනය කිරීමකින් තොරව එම විශබීජ රැඳි දෑත් වලින් සිය නාසය මුඛය ඇස් ආදී ස්ථාන ස්පර්ශකිරීම හේතුවෙන් නිසා,පෙරුම්කායම් ඉනේ බැඳගෙන එම ආසාදනයෙන් ආරක්ෂාවන්නේ කෙසේද යන්න ගැටලුවක්.

මේ අයුරින්ම එක්තරා රෝහලක වෛද්‍ය අධිකාරීවරයෙක් පසුගියදා තම ආයතනයේ ආපනශාලාව තුල කුකුළුමස් ඇතුලු ගොවිපල ආශ්‍රිත සත්වයන් ගෙන් නිපදවන ආහාර විකිණීම තහනම් කිරීම සඳහා පියවර ගෙන තිබුනේ එමගින් කොරෝනා රෝගය පැතිරයාමට හැකි බව සඳහන් කරමින්.

මෙය බොහෝ වෛද්‍යවරුන්ගේ දැඩි දෝෂදර්ශණයට ලක්වූවේ එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති නිසයි. කිසිදු සත්ව ආහාරයකින් එලෙස කොරෝනා ආසාදනය පැතිරයාමක් සිදුවන්නේ නැහැ.විශේෂයෙන්ම අපේ ආහාර රටාව අනුව ආහාර සැකසීමේදි ඒවා ඉහල උෂ්ණත්වයකට පත්කරන නිසා සියලුම ආකාරයේ රෝගකාරක විනාශ වෙනවා මේ අතර ම්නිසා ආශ්‍රිත පූසන් බල්ලන් වැනි කිසිදු සතෙකුගෙන් මිනිසාට කොරෝනා රෝගය ආසාදනය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

හොඳ වෙලාවට එම නිවේදනය නිකුත් කරලා තියෙන්නේ.නැත්නම් අපේ රටේ අය බල්ලන් බළලුන් වැනි අහිංසක සුරතල් සතුන් පවා මේ හේතුව මත විනාශ කිරීමට තරම් අවිචාරශීලී වීමේ හැකියාව තිබුණා.

මෙම වෛරසය සෙල්සියස් අංශක 26 -27 ට වඩා ඉහළ උෂ්ණත්වයකට නිරාවරණය වුවහොත් විනාශ වනවා අපේ රටේ බොහෝ ප්‍රදේශ වල, විශේෂයෙන් ජනාකීර්ණ කොළඹ නගරය වැනි ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 කට වඩා වැඩි වන හෙයින් මෙම රෝගය පැතිර යෑමේ ඉඩකඩ ඉතාම අවමයි .

නමුත් වායු සමීකරණය කර ඇති ආයතන තුළ සහ මගී ප්‍රවාහන වාහන තුළ මෙම වෛරසය විනාශ නො වී සැලකිය යුතු කාලයක් සජීවීව පැවතීමේ හැකියාව තියෙනවා

මේ වෙලාවේ අනවශ්‍ය පරිදි විශාල ලෙස පාරිභෝගික ද්‍රව්‍ය මිලදී ගෙන ගබඩා කිරීම කිසිසේත්ම අවශ්‍ය නැති දෙයක් එමගින් කෘත්‍රිම භාන්ඩ හිඟයක් ඇතිවී මහජනයා ඉතාම අපහසුතාවයකට පත්වීමේ අවධානමක් තියෙනවා.

හැකි සෑම විටම වායුසමණය කර ඇති පොදු ස්ථාන වලින් ඈත්ව සිටීම , සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ඇති පුද්ගලයන් සමග ගනුදෙනු කරන විට මීටර් දෙකක් පමණ ඈතින් සිට කතා බහ කිරීම,අතට අත දී සුභ සුබ පැතීමෙන් වැළකීම ,නිරතුරු ව සබන් හෝ විෂබීජ නාශක දියරයක් යොදා සිය දෙයත් සෝදා ගැනීමට අමතරව මෙම රෝගයෙන් ආරක්ෂා වීමට ගත හැකි පියවර කීපයකි

අනවශ්‍ය ලෙස මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථාන වලට ගමන් කිරීම සුදුසු වන්නේ නැහැ. පාසැල් වසා දැමූ අන්දමට ම වගේ කාර්යාල කටයුතු අරඹන සහ අවසන් කරන වේලාවන් නම්‍යශීලී ලෙස යොදා ගත හොත්, එ නම් සේවයට වාර්තා කළ හැකි වේලාවන් උදේ හතේ සිට දවල් 11 එකොළහ පමණ වන තුරු සහ සේවය අවසන් කිරීම සවස තුනේ සිට වන පරිදි යොදා ගත හොත් කාර්යාල සේවය සඳහා යන එන පුද්ගලයන් අධික තෙරපීමක් සහිත දුම්රිය සහ බස් රිය වලින් ප්‍රවාහනය වීම වළක්වා ගත හැකි වනවා.ඒ මගින් මෙම රෝගය බෝවීමේ අවදානම ද අඩු වනවා.

රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝහල් වලට එම රෝගීන් බැලීම සඳහා අත්‍යවශ්‍ය නම් හැර නොපැමිණීම තමා වඩා සුදුසු වන්නේ.අවශ්‍යම නම් පමණක් දිනකට එක්වරක් එක් පුද්ගලයකු පමණක් පැමිණීම සුදුසු වනවා එමගින් බාහිර පුද්ගලයින්ගෙන් රෝගීන්ට කොරෝනා ආසාදනය වීමත් ,රෝගීන්ගෙන් බාහිර පුද්ගලයන්ට කොරෝනා රෝගය ආසාදනය වීමත් අවම කරගැනීමේ හැකියාව තියෙනවා

කැස්ස ,සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ ඇති වූ පුද්ගලයන් තමන්ගෙන් අනිත් පුද්ගලයන්ට රෝගය ආසාදනය වීම වැළැක්වීම සඳහා මුඛ ආවරණයක් පැලඳීම සුදුසු වනවා. ලේන්සු වෙනුවට ඉවත දැමිය හැකි ටිෂූ කඩදාසි භාවිතා කිරීමත් ,නොඑසේනම් කිවිසුම් යැවීමේ දී හෝ කැස්ස ඇති වන විට මුඛය ආවරණය කිරීම සඳහා අතේ වැලමිට ප්‍රදේශය භාවිතා කිරීම සුදුසු වනවා.

අධ්‍යාපනය චාරිකා,විනෝද චාරිකා,විදෙස් චාරිකා ,වලින් හැකි පමණ වැළකීමත් සුහද හමු පැවැත්වීම කල් දැමීමක් මේ අවස්ථාවෙදී සුදුසු වනවා .විද්‍යාලාන්තර මහා ක්‍රිකට් ගැටුම් සංගීත සංදර්ශන මෙවැනි දේවල් ද වලංගු කිරීම වඩා සුදුසු වන අතර අත්‍යවශ්‍ය කරුණක් නොමැතිනම් සෑම විටකම සිය නිවසේ රැඳී සිටීම වඩාත් සුදුසු වනවා.

මේ වෙලාවේ රෝගය පැතිර යාම මර්ධනය කිරීම සඳහා මිත්‍යා මතයන්ට ගොදුරු නොවී විචාරශීලීව බුද්ධිමත් ව කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා.මේ වන විට චීනයේ මෙම රෝග තත්ත්වය පාලනය කොට තියෙනවා.

රෝගයට ගොදුරු වන සියලු දෙනා මිය යන්නේ නැහැ.මේ නිසා අනවශ්‍ය ලෙස කලබල නොවී පෞද්ගලික ස්වස්ථතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම මගින් මෙම රෝගය පැතිර යෑම යෑම වැළැක්විය හැකි බව අවධාරණය කළ යුතු වෙනවා.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
M.B.B.S (Peradeniya)
LL.B (OUSL)
ජාතික රෝහල, මහනුවර

t

o

p