ජාඇල ‘කුඞ්ඩෝ’ අසරණ සුනඛයන්ට වස දී මරති

March 12, 2020

ජාඇල නගරය සහ ඒ අවට ජීවත් වන නිවාස අහිමි සුනඛයන් සමූහ වශයෙන් මිය යාමේ සිදුවීම් කිහිපයක් පිළිබඳව වාර්තා වෙයි. ඒ අනුව සිදුකරනු ලැබූ විමසීම්වලදී අනාවරණය කරගත හැකි වූයේ ජාඇල ප‍්‍රදේශයේ පරණ යකඩ එකතු කරන ආයතන, මෝටර් රථ අංගන ආදියෙන් රාතී‍්‍ර කාලවලදී යම් යම් දේ සොරකම් කිරීමට පුරුදුව සිටින මත්ද්‍රව්‍ය ලෝලීන් ඇතුළු පිරිස් විසින් මෙම සුනඛයන් වස දී මරණයට පත් කරන බවකි. මෙසේ වස ආහාරයට ගැනීම නිසා මහ මඟ වැටී පැය ගණන්, දින ගණන් දුක් විඳින සුනඛයන්ගේ දර්ශන දැන් තමන්ට හුරු පුරුදු බව පවසන ජාඇල ප‍්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනුයේ මෙම ම්ලේච්ඡ කි‍්‍රයාවෙන් කම්පාවට පත් සමහරුන් ඖෂධ සහ ප‍්‍රතිකාර මගින් එම සුනඛයන්ගේ ජීවිත බේරා ගැනීමට වෙර දරා ඇති මුත් ඒ උත්සාහයන් බොහොමයක් අසාර්ථක වී ඇති බවකි.

ජාඇල නගරය සහ ඒ අවට ඇති පැරණි යකඩ අබිලි ද්‍රව්‍ය එක්රැස් කොට ඇති ස්ථාන සහ මෝටර් රථ අංගන වැනි ස්ථානවලින් පසුගිය කාලයේ විවිධ ද්‍රව්‍ය අතුරුදන්ව තිබීම මත ඒවායේ ඇතැම් ව්‍යාපාරිකයන් ප‍්‍රදේශයේ ගැවසෙන නිවාස අහිමි සුනඛයන්ට එම ස්ථාන ආශි‍්‍රතව ආපන ශාලාවලින් ඉවත් කෙරෙන ඉඳුල් බත් ආදිය ලබා දුන් බවත් ඉන් පසු රාතී‍්‍ර කාලයන් හිදී එම ස්ථානවලට එකී සුනඛයන්ගේ නොමඳ ආරක්ෂාව හිමි වූ බවත් එම ව්‍යාපාරිකයෝ පවසති. ඒ ඔස්සේ එම ස්ථානවලින් යම් යම් දේ සොරකම් කිරීමට ඇති ඉඩකඩ අහිමි වීම මත එම සොරුන් ද එම සුනඛයන්ට එකී ස්ථාන අසල දීම ආහාරවලට වස මුසු කොට දී ඇති බවට පැහැදිලි සලකුණු ඇතැයි එම ව්‍යාපාරිකයෝ පවසති.

මේ වන විට එම ම්ලේච්ඡ ක‍්‍රමය යටතේ සුනඛයන් සිය ගණනක් මරණයට පත්කොට ඇති අතර මෙම කි‍්‍රයාව තරයේම පිළිකුල් කරන ජාඇල සාමාන්‍ය ජනතාව පවසනුයේ ඉදිරියේදී මෙම තත්ත්වය පිළිබඳ නිරතුරු අවධානයෙන් හිඳින තමන් එම ම්ලේච්ඡයන්ට එරෙහිව ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවකි.

තිලක් සේනාසිංහ

t

o

p