රහත්ඵලයට පත් දස මහ යෝධයකුගේ රහස් සැඟවුණු තෙරුන්නාන්සේගම(Video)

March 6, 2020

දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන් පිළිබඳව අප කොතෙකුත් අසා තිබෙනවා. ඒ අතරින් ථෙරපුත්තාභය යෝධයා සුවිශේෂ චරිතයක්. අභය නමින් මුලදී හැඳින්වුණු ඔහු පසුව ඔහුගේ පියා පැවිදි බිමට පත්වීම නිසා තෙරුන්ගේ පුත් අභය හෙවත් ථෙරපුත්තාභය නමින් හැඳින්වෙනවා.

ජීවිතයේ තුරුණු වියේ දීම පැවිදිව රුහුණේ කිරිඳිඔයබඩ විහාරයක වැඩ වාසය කළ ථෙරපුත්තාභය තෙරණුවන් එවක දුටුගැමුණු රජතුමාගේ දසමහ යෝධයන් අතර සිටි ගෝඨයිම්බර යෝධයා තමන් වහන්සේගේ කුරුම්බා කා ලෙලිවලින් තම විහාර බිම අපිරිසිදු කළ වරදට යෝධයාගේ පාදයේ මහපටැඟිල්ලෙන් ඇදගෙන ගිය බවක් සඳහන්.

නමුත් අද බලවතුන් මෙන් මින් නොකිපෙන ගෝඨයිම්බර යෝධයා එම තෙරනුවන්ගේ අසාමාන්‍ය කාය ශක්තිය පිළිබඳව කාවන්තිස්ස රජුට දන්වා සිටිනවා.

පසුව රට දැය සමය සුරැකීම පිණිස වන දුටුගැමුණු කුමරුන්ගේ සංග්‍රාමයට එක්වීම පිණිස තාවකාලිකව පැවිද්දෙන් සමුගන්නා ථෙරපුත්තාභය හිමියන් එම සටනේ පුරෝගාමී සෙන්පතියකු ලෙස කටයුතු කරනවා. පසුව යුද්ධය හමාරවූ සැනින් නැවත පැවිදි බිමට පත්ව රහත්ඵලයට පත් වන උන්වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේලා සමග දුටුගැමුණු රජතුමන්ගේ මරණ මංචකයට වැඩම කොට රජතුමාට දහම් දෙසනවා.

ඒ අනුව උන්වහන්සේ දුටුගැමුණු රජුගේ මෙලොව සටනට සේම එලොව සටනට ද සහය දැක්වීම සුවිශේෂ සිද්ධියක්. උන්වහන්සේගේ අසිරිමත් දිවි පවෛත සම්බන්ධ නිහඬ මතක සටහන් රැසක් ගොනු කරගත් ඇඹිලිපිටියේ, තුන්කම, තෙරුන්නාන්සේ ගම රජමහා විහාරය අද වන විට පුරාවිද්‍යා රක්ෂිතයක්. මුලදී අක්කර හතළිහක භූමි ප්‍රමාණයක් තිබූ මේ විහාර භූමියේ භූමිය අද වනවිට අක්කර තුනහමාර දක්වා සීමා වී තිබෙනවා.

ඊට හේතුව මහවැලි අධිකාරිය මගින් දියත් කළ උඩවලවේ විශේෂ ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ දේශපාලන බලවතකුගේ මැදිහත්වීම මත මීට කලකට ඉහත එම විහාරස්ථානයට හිමි නටබුන් සහිත ඉඩකඩම් කුඹුරු හා ගොඩ ඉඩම් වශයෙන් ජනතාවට බෙදා දීම.

ඒ අනුව පසුකාලීනව එම පුරාවිද්‍යා නටබුන් එම කුඹුරු තුළ සැඟවී ගිය බවයි විහාරාධිපති පූජ්‍ය හඳුගල අමරවංශ හිමියන් අප හා කියා සිටියේ. 1986 වසරේ සිට මෑතක් දක්වා මෙම ස්ථානය සම්බන්ධ රාජකාරී කළ එමෙන්ම 2005 වසරේ මෙම ස්ථානය පිළිබඳ මුල්ම පුරාවිද්‍යා වාර්තාව සැකසූ විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරී ජයන්ත විජේරත්න හේරත් මහතා අප හා කියා සිටියේ ගත වූ තිස් එක් වසර තුළ මෙම පුරාවිද්‍යා නටබුන්වලට සිදු වූ හානිය තමන්ට වචනයෙන් විස්තර කළ නොහැකි බවයි.

ඒ කෙසේ හෝ රත්නපුර ඇඹිලිපිටිය ඔස්සේ නෝනාගම දක්වා වැටීගත් මහාමාර්ගය ඔස්සේ ගොස් ඇඹිලිපිටියෙන් ඔබ්බෙහි ඇති හාගල හන්දියෙන් වමට හැරී තවත් කිලෝමීටර් තුන හමාරක් ගිය පසු අතිශය නිහඬ නිසංසල ගැමි පරිසරයක හුදකලා වූ මෙම අසිරිමත් පුදබිමට ළඟාවෙන්න ඔබටත් පුළුවන්.

තිලක් සේනාසිංහ  

t

o

p