පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය සංස්ථාගත කරයි

March 3, 2020

ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය සංස්ථාගත කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පතට කථානායකවරයා පසුගියදා අත්සන් තැබීය. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 74 යටතේ කථානායකවරයා විසින් මෙම සහතික කිරීම සිදුකොට තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය නමින් පැවති ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් බවට පත් වේ. එම පනතේ සඳහන් වන පරිදි එම මණ්ඩලයේ පොදු පරමාර්ථ පහත පරිදි දක්වා තිබේ.

ශ්‍රී ලංකාව තුළ පරිසර වෘත්තීයවේදීන්ගේ කීර්තිය හා ගරුත්වය පිලිගැනීම හා නැංවීම, මහජනතාව අතර පාරිසරික දැනුම පතළ කිරීම, පරිසර වෘත්තීයවේදීන් අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම, පාරිසරික ගැටළු පිලිබඳ විද්‍යාත්මක අවබෝධය වැඩිදියුණු කිරීමේ අදහසින් විෂයාන්තර පර්යේෂණ කිරීම දිරිමත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, පාරිසරික සහ සංවර්ධනය ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීම සඳහා බලාත්මක වේදිකාවක් සැපයීම අපේක්ෂා කෙරේ.

එයට අමතරව පාරිසරික ප්‍රකාශන දිරිමත් කිරීම සහ පළ කිරීම මෙන්ම අමාත්‍යංශයේ හෝ රජයේ දෙපාර්තමේන්තුවක් හෝ පළාත් සභාවක් විසින් ඉදිරිපත් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ස්වාභාවික සහ භෞතික පරිසරය සංරක්ෂණය කිරීම සහ වර්ධනය කිරීම,පරිසර විද්‍යාඥයින් සඳහා සහ පරිසර සංරක්ෂණයෙහි නියැලී සිටින තැනැත්තන් සඳහා වන පුහුණු වැඩසටහන් සිදු කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහා අදාළ අමාත්‍යංශය හෝ රජයේ දෙපාර්තමේන්තුව හෝ පළාත් සභාව වෙත සහාය ලබා දීම ද මෙම පනත මගින් තවදුරටත් අපේක්ෂා කෙරේ.

t

o

p