ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විකාශන කටයුතු වලදී ටෙන්ඩර් පිරිනැමීම සොයාබැලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

February 21, 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කටයුතු සම්බන්ධයෙන් ටෙන්ඩර් පිරිනැමීමේදී අඩු ලංසුවක් තැබූ ටාජ් ටී.වී. ආයතනය වෙත ටෙන්ඩරය ලබාදීම හේතුවෙන් ඇ.ඩො. 18,242,411 ක මූදල් ප්‍රමාණයක්  ( රුපියල් කෝටි 310ක් පමණ)  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට අහිමිවීම පිළිබඳ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව ( කෝප්) මෙහිදී සිය විරෝධය පල කළේය.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කටයුතු සම්බන්දයෙන් ටෙන්ඩර් පිරිනැමී පිළිබඳ සොයාබැලීම අමාත්‍යාංශ ලේකම් හරහා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කර වහා  පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන්  රැස්වූ කෝප් කමිටුවේදී නිර්දේශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් පුහුණු විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම සඳහා වසර 30කට අදාල බදු මුදල් වශයෙන් රුපියල් මිලියන 26.25 මල්වතු පාර්ශවය වෙත ගෙවීමට එකඟ වී තිබුණත් එම බදු මුදල් ප්‍රමාණය ඉක්මවමින්  රුපියල් මිලියන 50 පරිත්‍යාග වශයෙන් මල්වතු පාර්ශවය වෙත ලබිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව අනුමැතිය ලබාගෙන ඇති බවද මෙහිදී  අනාවරණය විය.

එසේම මෙසේ රුපියල් මිලියන 50 පරිත්‍යාග වශයෙන් මල්වතු පාර්ශවය මහනායක හිමියන් වෙත ලබාදී නොමැති බවත් ලබාදී ඇත්තේ රුපියල් මිලියන 25 පමණක් බවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය. නමුත් ඉතිරි වූ රුපියල් මිලියන 25 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් සතුව තවමත් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් මෙහිදී පවසන ලදි. මේ අනුව මෙම මුදල් සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්දැයි සොයා බැලීමට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටුව විසින් විගණකාධිපතිවරයාට උපදෙස් ලබා දෙන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු චන්දික හතුරැසිංහ මහතා පත්කිරීමේදී ගිවිසුම් සකස් කිරීටම නීති උපදෙස් ලබාගත් ආකාරය පිළිබඳ තොරතුරු කොප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසද කමිටුව මෙහිදී නිර්දේශ කළේය.

මෙම රැස්වීම සඳහා කටිටුවේ සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශොක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ශද සිල්වා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.  

t

o

p