රාජ්‍ය ආයතන වලින් ගුවන් හමුදාවට රුපියල් ලක්ෂ 90 ක් අයවිය යුතුයි

February 20, 2020

ගුවන් සේවාවන් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන වලින් රුපියල් ලක්ෂ 90 ක මුදලක් අයවිය යුතුව ඇති බව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සභාගත කළ එම පිළිතුර අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වැඩිම මුදලක් අයවීමට ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි. එම මුදල රුපියල් 23,98,099 කි.

පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චමල් රාජපක්ෂ මහතා මෙම පිළිතුර සභාගත කළේය.

එම පිළිතුරට අනුව රාජ්‍ය පරිපාලන, ආපදා කලමණාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය වසර 2003 ජනවාරි 14 වැනිදා වන විට රුපියල් 595,570.23 ක මුදලක්ද , නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය වසර 2004 මාර්තු 30 වැනිදා වන විට රුපියල් 836,165.00 ක මුදලක්ද ගෙවිය යුතුව ඇත.

මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වසර 2005 ජනවාරි 31 වැනිදා වන විට රුපියල් 542,452.59  ක මුදලක්ද, කම්කරු හා වෘත්තීය සමිති සඳතා අමාත්‍යංශය වසර 2005 පෙබරවාරි 15 වැනිදා වන විට රුපියල් 720,225.52 ක මුදලක්ද, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය වසර 2013 ජනවාරි 07 වැනිදා වන විට රුපියල් 75,690.00 ක මුදලක්ද, වරාය හා ගුවන්සේවා අමාත්‍යංශය වසර 2006 වන විට රුපියල් 416,002.34 ක මුදලක්ද ගුවන් හමුදාවට ගෙවිය යුතුව ඇත.

මෙයට අමතරව විදේශ කටයුතු අමාත්‍යංශය වසර 2014 අගෝස්තු 07 වැනිදා වන විට රුපියල් 1,621,254.34 ක මුදලක්ද ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීමේ සහ පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය 2018 වසරේ අගෝස්තු 15 වැනිදා වන විට රුපියල් 1,314,166.12 ක මුදලක්ද අග්‍රාමාත්‍ය කාර්යාලය වසර 2018 දෙසැම්බර් 20 වැනිදා වන විට රුපියල් 541,778.91 ක මුදලක්ද ගුවන් හමුදාවට ගෙවිය යුතුව ඇත.

අදාල හිඟ මුදල් ගෙවන ලෙස ඉල්ලා ගුවන් හමුදාව එම ආයතන වෙත සිහි කැඳවීම් ලිපි යවා ඇති අතර හිඟ මුදල් පියවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් කාරක සභාවේ නිර්දේශ ප්‍රකාරව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් සහ අදාල අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග ගුවන් හමුදාව සාකච්ඡා පවත්වා තිබේ.

t

o

p