ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල තවදුරටත් පහළ යන්නේ නම් වාසිය මහජනතාවට ලබාදීමට රජය සුදානම්

February 15, 2020

මේ දිනවල චීනයේ පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ තෙල් මිල සුළු වශයෙන් අඩුවීමක් පෙන්නුම් කරයි.

නමුත් එම තත්ත්වය ඉන්ධන මිල අප රටේ අඩුකිරීමට තරම් මිල අඩුවීමක් නොවන අතර, මීට සති 2කට පෙර ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේ රු. 12කින් පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමිය යුතු වුවත් රජය එසේ නොකළේය. වර්තමානයේ ඉන්ධන මිල පහළ යාම ස්ථාවර තත්ත්වයක් නොවේ. එම තත්ත්වය කෙටිකාලීන මිල වෙනස්වීමක් පමණක් බව පෙනී යයි.

එහෙත් මෙම තත්ත්වය දිගටම පවතින්නේ නම් එම මිල අඩුවීමේ වාසිය රටේ ජනතාවට ලබාදීමට රජය කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගමේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අබලි බස්රථ අලුත්වැඩියා කර ධාවනයට සුදුසු තත්ත්වයට පත් කිරීම මෙම සමාගම විසින් සිදුකරන අතර ඊයේ දිනය තුළ එහි නවීකරණය කරන ලද බස්රථ 12ක් ලංගම වෙත බාර දී තිබේ.

මේ හැර පුද්ගලික අංශයේ බස්රථ අලුත්වැඩියාව මෙන්ම දැනට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලක්ෂ 45ක් පමණ වැය කර චීනයෙන් ගෙන්වන උපාංග රැසක් රු. ලක්ෂ 6ක් වැනි මුදලකට තම සමාගම විසින් නිපදවිය හැකි බව ලක්දිව ඉංජිනේරු සමාගමේ කාර්මික නිලධාරීන් පෙන්වා දුන්නේය.

එම කොන්ත්‍රාත්තුව මෙම දේශිය සමාගමට ලබාදීමට අමාත්‍යවරයා එකඟත්වය පළ කළේය.

දැනට ඉතා අවම වැටුපකට සේවය කරන එම සේවක මණ්ඩල වලට කැපවීමෙන් කටයුතු කර ලක්දිව ඉංජිනේරු මසමාගම ලාභ පබන තත්ත්වයට පත්කර දෙන ලෙස ඇමතිවරයා ඉල්ලා සිටියේය. සමාගමට ලැබෙන ආදායමෙන් කොටසක් දිරිදීමනා වශයෙන් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.

මෙම අවස්ථාවට ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති නිතීඥ තුසිත අළුත්පටබැදි මහතාද සහභාගීවිය.

t

o

p