19න් පහළ ලෝක ක්‍රිකට් කිරුළ බංග්ලාදේශයට

February 10, 2020

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව පරදවා ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු වරට ලෝක ශූරතාවක් දිනා ගැනීමට බංග්ලාදේශය ඊයේ සමත් විය.

දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රුම්හිදී පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී පසුගියවර ශූරයන්වූ ඉන්දියාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 3කින් පරාජය කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතාගේ පුහුණුකාරිත්වය යටතේ තරග කළ බංග්ලාදේශය මේ ශූරතාව අත්කර ගත්තේය.

බංග්ලාදේශය මින් පෙර ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමේ කිසිදු ආකාරයක ලෝක ශූරතාවක් දිනා නොමැති අතර යොවුන් ලෝක කුසලාන තරගාවලියේදීත් අත්කරගෙන තිබූ ඉහළම ස්ථානය තෙවැනි ස්ථානයයි (2016).

ඊයේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 177කට සීමාකළ බංග්ලාදේශයේ පිළිතුරු ඉනිමේ 41වැනි ඕවරයේදී වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ වනවිට ඔවුන් කඩුලු 7කට ලකුණු 163ක් ලබාසිටි අතර යළිත් තරගය ආරම්භ වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 46කදී ලකුණු 170ක ඉලක්කයක් සමගිනි.

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයට ඇද වැටිණි.

t

o

p