ශ්‍රි ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනු සම්බන්ධව විවාදයක් ලබන 20 වැනිදා

February 9, 2020

ශ්‍රි ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනු සම්බන්ධව මතුව ඇති කරුණු පිළිබදව සභාව කල් තැබීමේ විවාදයක් ලබන පෙබරවාරි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට, පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබේ.

එම විවාදය එදින පස්වරු 01.30 සිට පස්වරු 07.30 දක්වා පැවැත්වෙනු ඇත.මෙම සභාව කල්තැබීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කෙරේ.

පසුගිය රජයේ විවිධ ව්‍යාපෘති සදහා සිදුකළ යුතු ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය වියදම් පියවා ගැනීම සදහා පරිපූරක ඇස්තමේන්තුවක් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂය මෙහිදී දැනුම් දී තිබේ.

එම පරිපූරක ඇස්තමේන්තුව පිළිබද විවාදය පෙබරවාරි 20 වැනිදා පෙරවරු 09.30 සිට දහවල් 12.30  දක්වා පැවැත්වීමට නියමිතය. යම් ලෙසකින් පරිපූරක ඇස්ත්මේන්තුව එදින ඉදිරිපත් නොවුණහොත් ලබන 20 වැනිදා දිනය පුරා ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබද විවාදය පැවැත්වෙනු ඇත.

මේ අතර ලබන පෙබරවාරි 18 හා 19 යන දිනවලදී මහ බැංකුවේ බැදුම්කර නිකුතුවන් සම්බන්ධව සිදු කර ඇති වෝහාරික විගණනයේ වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙනු ඇත.එම සභාව කල් තැබීමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට සභානායක හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,අමාත්‍ය තිලංග සුමතිපාල,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අජිත් පී පෙරේරා,එම්.ඒ සුමන්තිරන්,උදය ප්‍රභාත් ගම්මන්පිල ,විජිත හේරත් සහ රවී කරුණානයක යන මහත්වරුද සහහාගී වූහ.

t

o

p