සමන් රත්නප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම 05 වැනිදා

February 4, 2020

සමන් රත්නප්‍රිය සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම 05 වැනිදා සිදු කෙරේ .

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට සමන් රත්නප්‍රිය සිල්වා මහතා පත්කරන ලෙස,  එම  පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා  දැනුම් දුන්නේය. ඒ අනුව මෙම පත්කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින්  ජනවාරි 27 වැනිදා නිකුත් කරනු ලැබීය.

වර්ෂ 1993 දී වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් ලෙස වෘත්තීය සමිති ක්‍රේෂ්ත්‍රයේ කටයුතු ආරම්භ කරන රත්නප්‍රිය මහතා 1997 දී රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පත්වෙයි.

එමෙන්ම 1998 වර්ෂයේදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනයේ උප සභාපතිත්වයට පත්වන ඔහු, 1999 වර්ෂයේදී එහි සභාපති ලෙසද පත් වෙයි.

2002  වර්ෂයේදී වෘත්තීය සමිති මහා සම්මේලනයේ සභාපතිත්වයට පත්වන රත්නප්‍රිය මහතා, 2006 වර්ෂයේදී ,අගෝස්තු 04 ව්‍යාපාරය ආරම්භ කරමින් එහි කැදවුම්කරු ලෙස කටයුතු කළේය.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් අරාම්භ කරන සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයෙහි ප්‍රධාන කමිටු සාමාජික ලෙසද ඔහු කටයුතු කරන අතර, 2014 වර්ෂයේදී මැතිවරණ වෙනසක් වෙනුවෙන් පිහිටවූ පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ලෙසද කටයුතු කිරීම විශේෂත්වයකි.

මේවන විට රත්නප්‍රිය මහතා සිවිල් සංවිධාන වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ලෙසත්,  ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ලෙසත් කටයුතු කරමින් සිටියි. හෙද ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු බලපිටිය රේවත මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය‍යෙකි.

t

o

p