කොරෝනා ගැන ඇති කොරවෙන මත

February 3, 2020

නව කොරෝනා වෛරසය අපේ රටටත් ව්‍යාප්ත ව්‍යාප්තවීම තුළ සමාජය මහත් ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙනවා .ජන මාධ්‍ය විශේෂයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මෙම රෝගය පිළිබඳව විද්‍යාත්මක නොවන විවිධ මත වාද පළ කිරීම මෙම තත්ත්වය වර්ධනය කිරීම සඳහා බෙහෙවින් දායක වී තිබෙනවා.

විද්‍යාත්මක මතයන් සහ විශේෂඥ වෛද්‍යවරුන් කුමක් කීව ද සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පතුරුවා හරින මෙවන් හිතළු කිසිදු වග විභාගයකින් තොරව පිළිගැනීමට සමහර පුද්ගලයන් පෙළඹෙනවා.කොරෝනා වෛරස් ආසාදනයෙන් වැළකී සිටීම සඳහා ශල්‍යකර්ම වලදී වෛද්‍යවරුන් භාවිතා කරන මුඛ ආවරණ (surgical masks) මහජනයා විසින් පැලදිය යුතු යැයි කරන ලද ප්‍රචාරය එයට හොඳ උදාහරණයක්. පැළඳිය යුතු බව පමණක් නොව රෝගයෙන් ආරක්ෂා වීමට නම් එම මුඛ ආවරණයේ කණපිට පැළඳිය යුතු බවත් ප්‍රචාරය කළා .

බොහෝ දෙනා මෙය විශ්වාස කල නිසාවෙන් ෆාමසි වල තිබුන මේ වර්ගයේ මුඛ ආවරණ තොග පිටින් එක දවසින් විකිණුනා.රුපියල් පහළොවට තිබුන මෙම මුඛ ආවරණයක් රුපියල් පන්සීයේ සිට දහස දක්වා මිලකට අලෙවි කරනු ලැබුවා.සමහර පාසැල්වල සිටින” වෛරස් විශේෂඥ ” විදුහල්පතිවරු දරුවන්ට මෙම මුඛ ආවරණ පැළඳ පාසැල් පැමිණීම අනිවාර්ය්‍ය කරතිබුනා..ඉන් දරුවන් මෙන්ම දෙමාපියන්ද පත්වුනේ බලවත් අපහසුතාවයකටයි.

සමහර දෙමාපියන් කොළඹ පාසැලක තම දරුවන්ට මෙම මුඛ ආවරණ අරන්ගියේ මහනුවරින්. ඔය කියන මුඛ ආවරණ වල බාහිර වර්ණවත් පැත්තේ තියෙන්නේ අපාරගම්‍ය පටලයක්. එමගින් ශල්‍යකර්මවලදී රෝගියාගේ තරල වෛද්‍ය වරයාගේ මුහුණේ තැවරීමෙන් ආරක්ෂා කරනවා ඒ වගේ ම තමා කැස්ස,සහ කිවිසුම් යෑම සහිත ස්වශන රෝග තත්වයන් ඇති අයෙකු භාවිතා කිරීම මගින් සිය රෝගය අන් අයට පැතිරයාම අවම කරන්න පුළුවන්.

එය කොරෝනා රෝගයට පමණක් නොව වෙනත් ඕනෑම බිඳිති මගින් ආසාදනය වන ස්වසන රෝග තත්වයකටත් අදාලයි.රෝගී පුද්ගලයෙකු මෙය පැළඳ සිටින විට කැස්ස සහ කිවිසුම් වලදී පිටකරන ආසාදිත බිඳිති මෙහි ඇතුලත බිත්තියේ රැඳෙනවා.

උපරිම වශයෙන් පැය 6ක් 8ක් පමණ භාවිතයෙන් පසු මේවා ආරක්ෂාකාරිව ඉවත දැමිය යුතු වනවා.නමුත් සමහර දෙමාපියන් මේවා නැවත නැවත භාවිතා කරන අයුරු දක්නට ලැබුණා.එය ඉතා භයානක තත්වයක්.එමගින් දරුවාට එතුල රැඳී ඇති විෂබීජ නැවත සිරුරට ඇතුල්වීමේ හැකියාව පවතිනවා.

මෙම මුඛ ආවරණය කණපිට පළඳාගත් විට නහය සහ මුඛය අසලින් ම ආවරණය වන්නේ අපාරගම්‍ය පටලයයි.එවිට ප්‍රස්වාස වාතයේ ඇති ජල බිඳිති උරා ගැනීම අවහිර වන නිසා මුඛ ආවරණයෙන් තෙත මනය පිටතට වැගිරෙනවා .එසේ ම බාහිර පටලය තුළ පරිසරයේ ඇති විෂබීජ රඳා සිටිනවා . එ බැවින් මේ ලෙස වැරදි ආකාරයට මුඛ ආවරණය පැලදි ගැනීම පලකට නැති විහිළුවක් වනවා ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා මුඛ ආවරණ පළදින ලෙසට මහ ජනතාවට දැන්වීමක් කර නැහැ.

එසේ කිරීම යම් පමණකින් හෝ අවශ්‍ය වන්නේ මෙම රෝගය ශ්‍රී ලංකාව තුළ වසංගතයක් සේ පැතිර යන්නේ නම් පමණයි කැස්ස සහ කිවිසුම් මඟින් රෝගියෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මෙම රෝගය බෝ වීම සඳහා එම රෝගියා නිරෝගී පුද්ගලයාට ඉතා ආසන්න ව සිට ඔහුගේ මුහුණට බිඳිති ඉසෙන පරිදි කැසීම හෝ කිවිසුම් යැවීම සිදු කළ යුතුයි.

නොඑසේනම් එම කැස්ස හෝ කිවිසුම් සමග පිටවන බිදිති බර වැඩි වීම හේතුවෙන් නුදුරින්ම බිමට හෝ අසල ඇති ද්‍රව්‍ය මත පතිත වෙනවා . මේ නිසා තමා කිවිසුම් යැවීමේදී හෝ කැස්ස ඇති වන විට ඒ සඳහා ආවරණයක් ලෙස සිය වැලමිට භාවිතා කරන ලෙසත්,ලේන්සු වෙනුවට ඉවත ලිය හැකි ටිෂූ කඩදාසි භාවිතා කරන ලෙසත් උපදෙස් දෙන්නේ.ලේන්සුවක් භාවිතා කළොත් නැවත නැවත එම විෂබීජ එම පුද්ගලයාට ආසාදනය වෙනවා.

එමෙන්ම එම ලේන්සුව ඇල්ලීමේ දී එහි තැවරී ඇති රෝග කාරක විෂබීජ සිය අත් වල තැවරෙනවා.ඒ මගින් මුඛය හරහා එම විසබීජ නැවත සිරුරට ඇතුල් වීමේ හැකියාවක් තියෙනවා සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට නාසය ඇල්ලීම මගින් ආසාදිත සොටු දියර අත්වල තැවරෙනවා .

සමහර විට සිය අත්ලට කැසීම හෝ කිවිසුම් යැවීම සිදු කිරීම මගින් ද ආසාදිත බිඳිති අත් වල තැවරෙනවා ඉන් පසු එම අත් වලින් පොදු ස්ථාන වල ඇති ද්‍රව්‍යයන් ඇල්ලීම මගින් එම ආසාදිත බිඳිති ඒවායේ තැවරෙනවා උදාහරණ ලෙස පොදු ප්‍රවාහන සේවා වල ඇති දෑත් රඳවනයන් , දොර අගුළු , ආපනශාලා වල ඇති ජල කරාම ,පඩි පෙළ දෙපස ඇති ගරාදි වැටවල් ,ඇඟිලි සලකුණු යන්ත්‍ර වැනි දේ දැක්විය හැකි වෙනවා .

දැන් වෙනත් නිරෝගී පුද්ගලයෙක් එම ද්‍රව්‍යයන් ඇල්ලූ විට එම විෂ බීජ ඔහුගේ අතේ තැවරෙනවා දැන් ඔහු නිසි පරිදි අත් නොසෝදා ශ්ලේෂ්මල පටල ඇති ඇස් , නාසය හෝ මුඛය එම අතින් ස්පර්ශ කළ විට එම විසබීජ ඔහු ගේ සිරුරට ඇතුළු වෙනවා. මේ ක්‍රමයට තමා කොරෝනා වෛරසය වැඩිපුර ම සිරුර තුළට ඇතුළු වීමේ හැකියාව තියෙන්නේ .

ඒ නිසා නිරතුරු ව සිය අත් සබන් හෝ අත් සේදිමේ දියර භාවිතා කර තත්පර විස්සකට වඩා වැඩි කාලයක් සේදීමෙන් මගින් මෙම රෝග කාරක සිරුරට ඇතුල්වීම ඇතුළු වීම වළක්වා ගත හැකි වෙනවා .මුඛ ආවරණ පැලදීම මගින් ස්වසන මාර්ගයෙන් රෝග බෝ වීම වළක්වා ගැනීම කෙසේ වෙතත් එය පැළඳ සිටීම නිසා නොදැනුවත්වම දෑත් නිසි පරිදි පිරිසිදු නොකර මුඛය ඇල්ලීම නම් පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා කොරෝනා වෛරසය පිළිබඳව විවිධ මතයන් පල කරන්නේ වෛරස යනු කුමක්ද යන්න වත් හරි හැටි නොදන්නා අය වීම තමා ගැටලුව. කොරෝනා වෛරසය යනු එක වෛරසයක් නොව වෛරස් කාණ්ඩයක්.

මීට පෙරත් කුරුළු උණ සහ මැද පෙර දිග ශ්වසන රෝගය වැනි වසංගත තත්ත්වයට පත් වූ ශ්වසන රෝග ඇති කළේ මෙම කාණ්ඩයේ වෛරසයි. ප්‍රමාණයෙන් ඉතා කුඩා එනම් සාමාන්‍ය බැක්ටීරියාවකින් පනහෙන් එකක් තරම් වන මෙම කොරෝනා වයිරසයට එම නම ලැබී ඇත්තේ එහි හැඩය ඔටුන්නක නැත්නම් කිරුළක හැඩය ගන්නා නිසයි .

ආලෝක අන්වීක්ෂයක ට පවා නොපෙනෙන අතිශය කුඩා වෛරසයන්ට ශල්‍යකර්ම සඳහා භාවිතා කරන මුඛ ආවරණ තුළින් පහසුවෙන් ම ගමන් කළ හැකි බැවින් එම මුඛ ආවරණ පැලඳීමෙන් මෙම වෛරසයෙන් ආරක්ෂාව ලැබෙන්නේ නැහැ වෛරස කියලා කියන්නේ අර්ධ වශයෙන් ජීවී ලක්ෂණ පෙන්වන රෝග කාරකයක් මෙම වෛරස වලට වෙනත් ජීවියෙකුගේ සජීවී සෛල නොමැති ව වර්ධනය විය නොහැකියි .

කොරෝනා වෛරසය ගත හොත් එය ස්වසන මාර්ගයෙන් පුද්ගලයෙක්ගේ සිරුරට ඇතුළු වූ විට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එය හඳුනා ගෙන විනාශ කරනු ලබනවා . නමුත් ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන් එනම් මහලු වියේ අය සහ කුඩා දරුවන් මෙන්ම අවයව බද්ධ කරන ලද පුද්ගලයන් සහ දියවැඩියාව වැනි දිගුකාලීන රෝග වලින් පෙළෙන පුද්ගලයන්, ඒඩ්ස් රෝගීන් වැනි අයට මෙම වෛරසය ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිරුර තුළ තුල පාලනය කර ගැනීමේ හැකියාව අඩු වීම හේතුවෙන් සංකූලතා මතුව මියයෑමට පවා හැකියාව තියෙනවා.

නමුත් ප්‍රතිශක්තිය හොඳට තියන අයට එවන් සංකූලතා මතු වන්නේ නැහැ මෙම වෛරසය සිරුරේ ස්වසන පටක සෛල තුළට ඇතුළු වී එම වෛරසයේ ඇති ප්‍රවේණික ද්‍රව්‍ය යොදා ගෙන එම ශෛලයෙන් ශක්තිය සහ ඇමයිනෝ අම්ල උපයෝගී කර ගනිමින් විශාල නව වෛරස් ප්‍රමාණයක් නිපදවනවා.

ඉන් පසු මෙම වයිරස් සහිත ශෛලය පුපුරා ඒ තුළ අඩංගු වෛරස එම පුද්ගලයාගේ රුධිරයට එකතු කරනු ලබනවා මේ හේතුවෙන් කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව කිවිසුම් යෑම උගුරේ වේදනාව හුස්ම ගැනීමේ අපහසුතා සහ නිව්මෝනියාව වැනි රෝග ලක්ෂණ පහළ වන අතර වෛරස ඉවත් කිරීම සඳහා සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් උණ හට ගන්නවා.උණ සෑදීම මගින් සිරුරේ උෂ්ණත්වය ඉහළ මට්ටමක තබා ගැනීම හේතුවෙන් වෛරස් වල වර්ධනය වීම අඩාල වනවා.

වෛරස් රෝග බොහොමයක් සඳහා නිශ්චිත ප්‍රතිකාර නොමැති අතර එය සුව වන්නේ සිරුරේ ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය මගින්. වෛරස තුළ ඇති ප්‍රවේණික ද්‍රව්‍ය වන (RNA) දාමයන් ඉතා අස්ථාවරයි .එම නිසා පරම්පරාවෙන් පරම්පරාවට වෛරස් නිපදවීමේ දී බොහෝ විට එකිනෙකට වෙනස් ප්‍රවේණි ද්‍රව්‍ය සහිත වෙනස් වෛරසයන් නිපදවෙනවා.ඒ නිසා තමා සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට නව වෛරසය හඳුනා ගෙන එයට එරෙහිව සිරුර තුළ ප්‍රතිදේහ නිපදවීම ට යම් කාලයක් ගත වෙන්නේ.

ශ්‍රී ලංකාවේ හමු වූ එකම කොරෝනා ආසාදිත රෝගී කාන්තාවන් මේ වන විට වන විට සම්පූර්ණයෙන් ම සුවය ලබා සිටිනවා.ඒ නිසා මේ රෝගය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගැනීම සුදුසු නැහැ.ජන මාධ්‍ය වල පෙන් වූ පරිදි මෙම රෝගයට ගොදුරු වූවන් වෙඩි වැදුනාක් මෙන් ක්ෂණිකව මැරී වැටෙන්නේ නැහැ.ඒ දර්ශන හේතුවෙන් බොහෝ දෙනා මේ පිළිබඳව වැරදි වැටහීමක් ලබාගෙන ඉමහත් බියකට පත් වුණා චීනයේ අධ්‍යාපනය ලද අපේ දරුවන් පිරිසක් නැවත ලංකාවට රැගෙන ඇවිත් දිය තලාව යුද හමුදා කදවුරේ රඳවා ගෙන සිටින්නේ ඔවුන්ට රෝගය බෝ වී ඇති නිසා නොව එම රෝගය වැළඳී ඇති දැයි නිරීක්ෂණය කිරීම සඳහා පමණයි.

.රෝග කාරක වෛරසය ඔවුන්ගේ සිරුරට ඇතුළු ව තිබෙන්නේ නම් දින දහ හතරක් ඇතුළත රෝග ලක්ෂණ පහළ වෙනවා .එසේ වුවහොත් ඒ අයට ප්‍රතිකාර ලබා දීමට හැකියාව තිබෙනවා.එය ඕනෑ ම රටකට විදෙස් රටවලින් පැමිණිය හැකි රෝග වැළැක්වීමේ නිරෝධායන ක්‍රම වේදයක්.

මෙම දරුවන් ගේ සිරුරු වල දැවටී එන සුළඟ ආග්‍රහණය කිරීම හෝ සිය සිරුරේ තැවරීම හේතුවෙන් මෙම රෝගය කවරෙකුටවත් බෝ වන්නේ නැහැ ශ්‍රී ලංකාවේ සිටියේ එක් රෝගියෙක් පමණක් වුවත් අපේ අය නම් මේ සඳහා විවිධාකාර ප්‍රත්‍යක්ෂ ඖෂධ සොයා ගෙන මුහුණු පොතේ සටහන් කර තිබුණා.

සිරුරේ පෙරුම්කායම් ගැට ගසා ගැනීම එසේ නිර්දේශ කොට තිබූ එක ක්‍රමයක් එය අතීතයේ සූර්යග්‍රහණයක් පැවති දිනෙක ලස්සන වීම සඳහා වද කහ බීම මතකයට නංවනවා. කොරෝනා වෛරසය සතුන් අතර බහුලව පැතිර පවත්නා වෛරසයක්.නව කොරෝනා වෛරස් ප්‍රභේදය මුලින්ම ජනිතව ඇත්තේ වවුලන් සහ සර්පයන් තුළ යැයි සැක කරනු ලබනවා .

එම සතුන් ගේ අමු මස් අනුභව කිරීමෙන් මෙම රෝගය මිනිසාට වැළදී ඇති බවයි දැනට අනුමාන කරන්නේ.නමුත් දැන් මිනිසාගෙන් මිනිසාට රෝගය පැතිර යන්නේ ස්වසන පද්ධතිය මාර්ගයෙන්. කෙසේ වෙතත් හාස්‍යයට කරුණ වන්නේ මේ හේතුව නිසා අපේ රටේ සතුන් අතපත ගෑම රෝගයට ගොදුරු වීමේ එක් මගක් ලෙස ප්‍රකාශ කිරීමත් සමහර වෛද්‍යවරුන් පවා කුකුල් මස් අනුභව කිරීමෙන් මෙම රෝග තත්ත්වය පැතිරී යා හැකි බවට ප්‍රකාශ කොට තම ආයතනයේ ආපන ශාලාවන් හි කුකුල් මස් ව්‍යාංජන ඇතුළු ගොවිපල ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය විකිණීම තහනම් කිරීමට පියවර ගැනීමත් ය.

සත්වයෙකු තුළ ජනිත වූ බවට අනුමාන කළ පමණින් සියලු සතුන් තුල එම වෛරසය ඉබේම ජනිත වේ යැයි සිතීම විහිලුවක්.එමෙන්ම අපේ රටෙි කුකුළු මස් ව්‍යංජන අනුභව කරන්නේ ඉහළ උෂ්ණත්වයකට භාජනය කොට හොඳින් පිස ගැනීමෙන් අනතුරුවයි එවිට කිසියම් වයිරසයක් තිබුනත් උෂ්ණත්වය හේතුවෙන් එය සම්පූර්ණයෙන් ම විනාශ වෙනවා.

මේ සම්බන්ධව එවන් අනතුරු ඇඟවීමක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පවා සිදු සිදු කර නොමැති අවස්ථාවක මෙවන් පියවර ගැනීම හේතුවෙන් මහජනතාව අනිසි ලෙස බියට පත් වෙනවා.

එ බැවින් මෙවන් අවස්ථා වලදී වගකීමකින් යුක්තව කටයුතු කොට, සිය සිතැඟි නො ව නිවැරදි විද්‍යාත්මක කරුණු පමණක් මහජනතාවට ලබා දීම ඒ සම්බන්ධ බලධාරීන්ගේ වගකීමක් වනවා. එසේ ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ සඳහා ලබා දෙන උපදෙස් පමණක් අනුගමනය කිරීමටත් වෙනත් විද්‍යාත්මක නොවන එක් එක් අයගේ ඒ හිතළු මත කටයුතු කිරීම සුදුසු නොවන බව මහජනතාව විසින් ද මතකයේ තබා ගත යුත්තක් වෙනවා වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ MBBS (PERADENIYA) LLB (OUSL) වෛද්‍ය නිලධාරී ජාතික රෝහල මහනුවර

t

o

p