යාපනය අක්කරෙයිපත්තුව බස් ර‍ථය ධාවනය කළ බීමත් රියදුරා වහාම සේවයෙන් පහ කරන්න

February 1, 2020

යාපනය සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වු ලංගම බස් රථයේ රියදුරු බීමත්ව සිටීම හේතුවෙන් ඊයේ යාපනය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මකවන පරිදි අදාළ රියදුරුගේ සේවය අත්හිටුවීමට කටයුතු කරන ලෙස  මගී ප්‍රවාහන කමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතාට උපදෙස් දී ඇත.

පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත යුධ හමුදාවේද සහාය ඇතිව යාපනයේ නාවක්කුලි ප්‍රදේශයේදී එම බස් රථය පරීක්ෂාවට ලක් කිරීමේදී රියදුරු බීමත්ව සිටි අතර බස් රථය පරීක්ෂා කිරීමේදී රියදුරුගේ ගම්න මල්ලේ අරක්කු සහ බියර් බෝතල් ද තිබී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය අවධානය යොමුකල විෂයබාර අමාත්‍ය මහින්ද  අමරවීර මහතා අදාළ රියදුරුගේ සේවය අත්හිටුවීමට උපදෙස් දී ඇති අතර මගීන්ට හිරිහැර වන ආකාරයෙන් ක්‍රියා කරන ලංගම මෙන්ම පෞද්ගලික බස් රථ රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසද අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

බස් මගීන් මෙන්ම පදිකයන්ගේ ද ආරක්ෂාව සම්බන්ධයෙන් රියදුරන් විසින් වගබලා ගතයුතු බවත්, එසේ නොමැතිව මාර්ග විනය ආරක්ෂා නොකරන රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මේ අතර එම සිද්ධිය සම්බන්ධව පොලිස් වාර්ථාවක් වහාම ලබාගැනීමටත්, ඉන් අනතුරුව  අදාළ රියදුරුගේ වැඩ තහනම් කිරීමටත් අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතා තීරණය කර ඇත.

t

o

p