කිලිනොච්චියේ මහා සුනඛ ඝාතනයක්!

January 28, 2020

කිලිනොච්චිය රජයේ රෝහල අවට දිවි ගෙවූ නිවාස අහිමි සුනඛයන් විශාල සංඛ්‍යාවක් පසුගිය විසි පස් වනදා ඝාතනයට ලක්ව තිබේ.මෙසේ ඝාතනයට ලක් වූ සුනඛයන්ගේ ගණන නිශ්චිතව අනාවරණය වී නැතත් ඉන් යම් ප්‍රමාණයකගේ මළ සිරුරු නාගරික කසල රඳවනයක තිබී හමුවී ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම කිලිනොච්චි රෝහල් බලධාරීන් ප්‍රතික්ෂේප කොට ඇති අතර එහි සේවය කරන වෛද්‍ය වරියක කියා සිටිනුයේ මෙය ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් කරවන ලද කුරිරු සත්ව ඝාතනයක් බව ය.

මෙම අපරාධය සිදු කිරීමට පෙර ‘කෙටමීන්’ නම් නිර්වින්දක ඖෂධයේ මාත්‍රාවන් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු විසින් ප්‍රදේශයේ පශු වෛද්‍ය වරයාගෙන් විමසා ඇති බවද වාර්තා වේ.ඒ අනුව මෙම සුනඛයන්ගේ මරණ රෝහල් වල පමණක් ඇති කෙටමීන් අධි මාත්‍රාවකින් එන්නත් කොට සිදු කරන ලද බවට සැක කළ හැකි මුත් ඇතැම් සුනඛ මළ සිරුරු වල බරපතළ තුවාල දක්නට ලැබීමෙන් ඔවුන්ගෙන් කොටසක් පොලු වලින් පහර දී මරා දමන්නට ඇතැයි යන සැකය ඇතැමුන් තුළ පහළ වී තිබේ.

2006 වසරේ සිට සුනඛයන් ඝාතනය ප්‍රතිපත්තිමය වශයෙන් රජය විසින් අත්හිටුවා ඇති අතර පසුගිය දා නිකවැරටියේ සිදුවූ සුනඛ සමූහ ඝාතනය සම්බන්ධයෙන් සංවේදී වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා එය සිදු කළ වුන්ට එරෙහිව වහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් උපදෙස් දුන් බව සිය ෆේස්බුක් සහ ට්විටර් ගිනුම් වලද සටහන් තැබීය.

ඒ අනුව 021-2285467 යන දුරකථන අංකය ඔස්සේ කිලිනොච්චිය පොලීසිය නැවත නැවත දැනුවත් කිරීමෙන් හා මේ පිළිබඳව ජනාධිපති වරයාගේ, අගමැති වරයාගේ සහ පොලිස්පති වරයාගේ අවධානයට යොමු කිරීමෙන් මෙම කුරිරු සත්ව ඝාතයට එරෙහිව නැගී සිටින ලෙස අපි ඔබ සැම වෙත බැගෑපත්ව ආයාචනය කර සිටිමු.

t

o

p