ඩෙංගු මැඩලීමට ඩ්‍රෝන ක්‍රමවේද නිර්මාණයට ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම්

January 15, 2020

ඩෙංගු වසංගතය මැඩලීම සඳහා සහයවීම වෙනුවෙන් ඩ්‍රෝන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණයට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට නවීන තාක්ෂණය පිළිබඳ  ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම් බව තාක්ෂණ හා නවෝත්පාදන  රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පැවසීය. පසුගියදා එම ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඹහු මෙම අදහස් පළ කළේය. එහි දී අමාත්‍යවරයා මෙසේ ද අදහස් පළ කළේය.

“නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයින් ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳව විශාල මහන්සියකින් සහ උනන්දුවකින් පර්යේෂණ  කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කළ අප යෝජනා කළා ඩෙංගු වසංගතය මැඩලීමට මේ ක්‍රමවේදය යොදා ගැනීම පිළිබඳව. ඒ සඳහා ඔවුන්ට සක්‍යතාව ඇති බැවින්  එයට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට එකඟතාව පළ කර තිබෙනවා. ඩෙංගු වසංගතය වැනි තත්වයක් පාලනයට ඉහළින් ගොස් නිරීක්ෂණය කිරීම වැදගත් වෙනවා.

එහිදී  පාසල්, රාජ්‍ය ආයතන, විශාල ගොඩනැගිලි, හිස් ඉඩම් ආදිය තුළ ජලය එකතු වන ආකාරය පිළිබඳ නිරීක්ෂයට, ඡායාරූප වාර්තා ගැනීමට, මෙන්ම එය පාලනයට අදාල නිශ්චිත ස්ථාන වලට බෙහෙත් වැනි දේ ඉසීම හෝ ධූමායනය ආදී පිළියම් යෙදීමටත් හැකිවෙනවා. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉක්මනින්ම ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ක්‍රමවේද නිර්මාණයට කටයුතු කරනවා.

රජයට අවශ්‍ය වන්නේ නූතන තාක්ෂණය උපරිම අයුරින් රටක් ලෙස භාවිතයට ගැනීමයි. ඒ සඳහා අභ්‍යන්තර තීන්දු ගැනීමේදීත්, ඒවා ප්‍රායෝගිකව ඉටුකර ගැනීමේදී අලුත් තාක්ෂණය යොදාගෙන එයින් උපරිම ඵලදායිතාවක් ලබා ගැනීමයි අපේ අරමුණ. අතිගරු ජනාධිපතිතුමා අපට උපදෙස් දී තිබෙනවා කෘෂිකර්මයට අදාළ ක්ෂේත්‍රයන්හි දී තාක්ෂණයට වැඩි නැඹුරුවක් දක්වා ඵලදායිතාව වැඩිකරගැනීමට අවධානය යොමුකරන ලෙසට.

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය මගින් දළ දේශීය නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් දීමට හැකි, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ද, භාවිතා කළ හැකි අලුත් තාක්ෂණයන් නිර්මාණය කර තිබෙනවා. ඹවුන්ට තවත් අවශ්‍ය සහයෝගය ලබා දී රට තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  වියදම අඩුකර ගනිමින් ඉහළ ඵලදායිතාවක් ලබාගැනීමටද හැකි වෙනවා. කිලෝ දහයක් පමණ ධාරිතාවකින් යුත් බරක් ගෙන යා හැකි ලෙසට ඩ්‍රෝන  තාක්ෂණයක් ඔවුන් නිර්මාණය කර තිබෙනවා. එය කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ තේ, වී, රබර් වැනි වගාවන්හි යොදවා  සාර්ථක ලෙස පර්යේෂණ අත්හදාබැලීම් සිදුකර තිබෙනවා. ඉදිරියටත් අපේම නව තාක්ණයන් ලෙස ඒවා සංවර්ධනය කිරීමට ද ඔවුන් පර්යේෂණ සිදු කරනවා.”

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි,  ආතර් සී. ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ  ජනරාල් සනත් පනාවැන්නගේ, පර්යේෂණ විද්‍යාඥයින් වන කවීන්ද්‍ර ජයවර්ධන, ජනක අඩස්සූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

t

o

p