අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට නිල ඇඳුම් තිළිණ පත්

January 8, 2020

2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබේ. ඒ අනුව අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට මෙම තිළිණ පත් ලබාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත.

මෙම වර්ෂයේ පාසල් නිල ඇඳුම් සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 2900ක් වන අතර, කාණ්ඩ 11කින් සමන්විත ව මෙවර නිල ඇඳුම් තිළිණපත් මුද්‍රණය කර තිබේ. රුපියල් 440/, 525/, 580/, 645/, 730/, 745/, 795/, 850/, 1,065/, 1,375/, 1,800/  වශයෙන් සිසුන්ගේ ශ්‍රේණි මට්ටම් අනුව තිළිණපත් වටිනාකම තීරණය කර ඇත. තිළිණපත් මිලියන 4.2ක් 2020 වර්ෂය සඳහා මුද්‍රණය කර ඇති අතර දීපව්‍යාප්ත සියලු පාසල් දරුවන් වෙනුවෙන් එම තිළිණ පත් ලබාදීමට පියවර ගැනේ.

මීට සමගාමී ව දුෂ්කර, අතිදුෂ්කර හා ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු සියලු පාසල්වල සිසුදරුවන් වෙත පාවහන් මිළ දී ගැනීම සඳහා තිළිණපත් ලබාදීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව 2005/1 සහ 2006/43 චක්‍රලේඛ ප්‍රකාර ව පළාත් හා කලාප අධ්‍යාපන කාර්යාල විසින් දුෂ්කර හා අතිදුෂ්කර පාසල් ලෙස තෝරා දී ඇති පාසල් 4690ක සිසුන්ට පාවහන් සඳහා තිළිණපත් ලබාදීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 958ක මූල්‍ය පිරිවැයක් දරා ඇත. පාවහන් තිළිණපත් ලක්ෂ 7ක්  ඒ අනුව හඳුනාගත් පාසල් දරුවන් වෙත පිරිනැමේ. පාවහන් සඳහා ලබා දී ඇති තිළිණපත් 1-3 ශ්‍රේණි සඳහා රු 1200/-ක්, 4-5 ශ්‍රේණි සඳහා රු 1300/-ක් 6-9 ශ්‍රේණි සඳහා රු 1400/-ක්, 10-13 ශ්‍රේණි සඳහා රු 1500/-ක් වශයෙන් කාණ්ඩ 4ක් යටතේ නිකුත් කර තිබේ.

මින් පෙර අවස්ථාවල දේශපාලනයින්ගේ ඡායාරූප සහිත ව නිකුත් කර තිබූ තිළිණපත වෙනුවට පාසල් සිසුදරුවන්ගේ ඡායාරූපයක් ඇතුළත් කර සියලු තිළිණපත් නිර්මාණය කර තිබීම ද මෙවර සුවිශේෂත්වයකි.

t

o

p