ශක්තිමත් විපක්ෂයක් ඇතිකරගන්න ආණ්ඩුව සමග දේශපාලන ඩීල් දැමීම් නතර කරන්න

November 26, 2019

තම තමන්ගේ පුද්ගලික ‌”ඩීල්” වෙනුවෙන් ආණ්ඩුවට සහාය ලබාදිය යුතු නැති බවත් ශක්තිමත් විපක්ෂයක් ඇතිකරගැනීම සදහා ආණ්ඩුව සමග ඩීල් දමන දේශපාලනයට තිත තැබිය යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

ආණ්ඩුව සමග දේශපාලන ඩීල් දමාගෙන තුනෙන් දෙකක බලයක් ලබාදීමට කටයුතු නොකළ යුතු බවත්, විපක්ෂයේ බහුතර කැමැත්තට අනුව සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකධූරය ලබාදිය යුතු බවත් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් හමුවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසුවේය.

අපි දේශපාලනයට එන විටත්, අප පාසල් යන කාලයේදීත් අපේ පක්ෂකයේ නායකයා වුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා පක්ෂයට විශාල සේවයක් කළ අයෙක්. හැබැයි පක්ෂයට අලුත් වෙනසක් අවශ්‍යරයි. පැරදුනේ සජිත් ප්‍රේමදාස, ඒ නිසා නායකතුමා වෙනස් විය යුතු නැතැයි සමහරු කියනවා.  මේ පැරදුනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා නොවෙයි. මේ පැරදුනේ සියලුදෙනා. පැරදුනේ මේ රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තියයි.

එතකොට මේ වෙලාවේදී  ලක්ෂ පනස් පහකට වැඩි මේ රටේ ඡන්ද දායකයින් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල පිළිගෙන තිබෙනවා. එහෙනම් එක්සත් ජාතික පක්ෂයත් වෙනස් වෙලා ඉදිරියට යා යුතුයි. එහිදී අලුත්, තරුණ නායකත්වයට ඉඩ දිය යුතුයි. එහෙම නැතිව හැමදාමත් පරණ නායකත්වය එක්ක ඉදිරියට යන්න බෑ. අපේ පාක්ෂිකයින් කියන්නේ පක්ෂයේ වෙනසක් විය යුතු බවයි. මේ පකෂයට අලුත් නායකත්වයක් සමග අලුත් ගමනක් යන්න පුලුවන්.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයත් සමග අපිට හොද ඉදිරියක් එවිට හදාගත හැකියි. ඉදිරි වසර පහ ඇතුළත අපිට ආණ්ඩු බලයක් ලබාගැනීමට අවස්ථාව ලබාදීමට සියලු දෙනාම එකමුතුවෙලා සාමූහික තීන්දුවක් ගත යුතුයි. අද අපි හමුවන හැමෝම කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක අලුත් ගමනක් යමු කියලයි. එහෙම අලුත් ගමනක් යන්න බැරි නම් වෙනම ගමනක් හරි  යමු කියලයි ඔවුන් කියන්නේ. මේක තමයි ජනතා මතය. අපිට ජනතාවගේ මතයට ගරු කිරීමට සිදුවෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වැඩි දෙනාගේ කැමැත්ත. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින වැඩි දෙනාගේ ඉල්ලීම වන්නේ විපක්ෂ නායකධූරයට සජිත් ප්‍රේමදාස මහත්තයා පත් කරන්න කියන එකයි. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ විශාලම පක්ෂය එක්සත් ජාතික පක්ෂය.

එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත වෙන්නේ විපක්ෂ නායකධූරයට සජිත් ප්‍රේමදාස මහතා පත් කරන එකයි. ඒ බව ලිඛිතව ලිපි මගින් දැනුම්දී තිබෙනවා. කතානායකතුමා හරි තීන්දුව ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ ඉල්ලීමට විරුද්ධ කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන් මොනවද කළේ, ඔවුන් කොතැනද හිටියේ කියන එක ජනතාව දන්නවා.

‌මේ වෙලාවේදී අහිංසක පාක්ෂිකයා රැක ගැනීමට කටයුතු කළ යුතුයි. එහෙම නැතිව තම තමන්ගේ ඩීල් වෙනුවෙන් ආණ්ඩුවට සහාය දෙන්න කතා කරනවා.  කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරලා, රාජපක්ෂලාට තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙන්න සමහර ඩීල් දාන අය සූදානම් වෙනවා.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න, ස්වාධීන කොමිෂන් සභා  අහෝසි කරන්න මේ අය උදව් කරන්න හදනවා. මේ සදහා අපි කිසිම අවස්ථාව ඉඩ ලබාදිය යුතු නැහැ. මේ විදියට ආණ්ඩුවත් එක්ක ඩීල් දාන්න හදන අයගෙන් අපිට අහන්න තියෙන්නේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතාව ඉටු කරගැනීමද වැදගත් වෙන්නේ, ඒහෙම නැතිනම්  පාක්ෂිකයා ආරක්ෂා කිරීමට වැදගත් වෙන්නේ කියන එකයි. අපි ප්‍රභල විපක්ෂයක් හදාගත යුතුයි. ඒ සදහා ආණ්ඩුවත් එක්ක ඩීල් දාන දේශපාලනට තිත තැබිය යුතුයි.

මේ වෙලාවේ ජනමතය අනුව කටයුතු කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ දේශපාලන අත්දැකීම් ඇති අයෙක්. ඔහුට ජනමතය ගැන හරි වැටහීමක් ඇති කරගෙන පක්ෂයට සාධාරණයක්  කරාවි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා. 

t

o

p