රාජපක්ෂ සුසංයෝගය තුළින් නැවත වරක් මේ රට ස්වර්ණමය යුගයකට

November 18, 2019

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබාදෙමින් වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් දිස්ත්‍රික්කය වශයෙන් පත්වන්නට ලැබීම ගැන සතුටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මෙවර  ජනාධිපතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබෙනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී සයේ වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් දිස්ත්‍රික්කය වශයෙන් ගම්පහ දිසත්‍රික්කය ඉහළට ඔසවා තබන්න ගම්පහ ජනතාව කටයුතු කර තිබෙනවා. ගෝඨාභය මහතාගේ ජය තහවුරු කරමින් ලැබුණු 361,199 ප්‍රමාණය දිස්ත්‍රික්කයක ඉහළම වැඩි ඡන්ද ප්‍රමාණය ලෙසින් සටහන් වීම අප ඉතාමත් ආඩම්බරයෙන් සිහිකරනවා.

2015 ජනවාරි මාසේ 09 වැනි දා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරය අතහැර ගිය දිනයේ සිටම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සුවිශේෂී වුවමනාවක් තිබුණා මේ විජයග්‍රහණයේ කොටස්කරුවන් වන්න. ඒ බව මේ මැතිවරණයේ දී රටටම පැහැදිලි වුණා. ගෝඨාභය මහතා ජනාධිපති පුටුවට ඔසවා තබන්නට ගම්පහ ජනතාවට කොතරම් වුවමනාවක් තිබුණාද යන්න සියයට 81ක් වූ ඡන්ද ප්‍රතිශතයෙන් මනාව පැහැදිලි වෙනවා. ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි සියයට 81ක ජනතාවක් ඡන්ද පොළට ගියේ.

යහපාලනයේ නාමයේ බලයට ආපු එක්සත් ජාතික පක්ෂයේ දුර්වල සහ දේශද්‍රෝහී ක්‍රියා නිසා අරාජික වී තිබුණු රට නැවත ගොඩනැගීමට මේ අනුව ගම්පහින් ඇතුළු මුළු රටෙන්ම සුවිශේෂී වු ජනවරමක් ලැබී තිබෙනවා. වසර හතරහමාරක් තිස්සේ ආපස්සට ගිය රට නැවත ඉදිරියට ගෙනයමින් ආර්ථිකය ගොඩනංවන්න, ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ ජනවරම තුළින් දැන් අවස්ථාව උදා වී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගය තුළින් නැවත වරක් මේ රට ස්වර්ණමය යුගයක් කරාගෙන යන්න දායකත්වය දැක් වූ ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු සමස්ථ ජාතියටම අපගේ උපහාර පුද කරනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රට ගොඩනැගීම සඳහා සැමගේ දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතරම ලැබූ මේ සුවිශේෂී ජයග්‍රහණය කිසිවකුගේ හිත් නොරිදවා සාමකාමීව සමරන ලෙස ඉල්ලා සිටිනවා.

t

o

p