අපේ දේශපාලනය සතර මහා අගතීන්ට එරෙහි දේශපාලනයක්

November 13, 2019


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනය ඡන්ද, ද්වේශ, භය, මෝහ යන සතර මහා අගතීන්ට එරෙහි දේශපාලනයක් බව පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පවසයි.

අනෙකුත් අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ මැතිවරණය වෙනුවෙන් ජන සමාජයේ අගතීන් ඇවිලුවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම අගතීන්ට එරෙහි දේශපාලනය සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇති බව පුබුදු ජයගොඩ සහෝදරයා පැවසුවේ නොවැම්බර් 7වැනිදා ගනේමුල්ල නගරයේ පැවති රැස්වීමකදීය. එහිදී ඔහු තවදුරටත් මෙසේ අදහස් දැක්වීය.


‘මේ දිනවල බොහෝ අපේක්ෂකයන්, බොහෝ දේශපාලන පක්ෂ ඔබ හමුවට එනවා. ඔවුන් ඔබේ ඡන්දය ඉල්ලා සිටින්නේ, ඔබව පොලඹවා ගැනීමට උත්සාහ කරන්නේ ඔබ තුළ සිටින මිනිසා පෙරට ගැනීමෙන් නෙවෙයි, ඔබ අප තුළ සිටින සතා ඇවිස්සීමෙන්. නොවැම්බර් 16 වැනිදාට ඔබ තීරණයක් ගන්නේ කොහොමද? තීරණයක් ගනිද්දී සතර මහා අගතීන් මත පදනම්ව තීරණ ගන්න එපා කියලා බුදු හාමුදුරුවෝත් දේශනා කරලා තියෙනවා.

මොකක්ද ඒ සතර මහා අගතීන්? ඡන්ද, ද්වේශ, භය, මෝහ. ඡන්ද කියන්නේ ලෝභකම, ආශාව. මේ අය උත්සාහ කරන්නේ අපේ ආශාවන් අවුස්සලා, අපි තුළ තිබෙන ලෝභය උත්තේජනය කරලා අපිව අවනත කර ගන්න. අරක නිකම් දෙන්නම්, මේක නිකම් දෙන්නම්, අලි දෙන්නම්, කොටි දෙන්නම් කිය කිය බොරු පොරොන්දු වලින් මැතිවරණ වේදිකා පිරිලා තියෙන්නේ. ගොවීන් හමු වුනාම පොහොර නොමිලේ දෙන්නම් කියනවා, ඒක කියන්නේ විෂ රසායන ගැන කියලා පොහොර සහනාධාරයත් උදුරා ගන්න ගිය අය. දැන් නොමිලේ දෙන්නම් කියන්නේ ඒ වසවිස තියෙන පොහොරම තමයි.

කාන්තාවෝ හමු වුනාම සනීපාරක්ෂක තුවා නොමිලේ දෙන්නම් කියනවා. එහෙම කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍ය වලට 101.2%ක අසාධාරණ බද්දක් පැනවූ අයමයි. ඔය කතා අහලා ලෝභය අවුස්සගන්න එපා. ඔය මොකුත් ලැබෙන්නේ නෑ.  ඔක්කොම නිකම් දෙන්බම් කියන්නේ අළුතින් රාජ්‍ය සේවයට බඳවා ගත් සංවර්ධන නිලධාරීන්ට රජයට මුදල් නෑ කියලා මාස දෙකක් දීමනාව නොගෙවූ අය.

රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවා ගන්න බැරිව ඉන්න ගමන් ඔය පොරොන්දු ඉටු කරයිද? ඔය දේවල් නොමිලේ ගන්න ලෝභ උනොත් අන්තිමේදි වෙන්නේ නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය වගේ අයිතීන් පවා අහිමි වෙන එක.


ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ද්වේශය අවුස්සනවා, එකිනෙකා ගැන වෛරය අවුළුවනවා. ඇත්ත හතුරා සඟවන්න බොරු ව්‍යාජ හතුරෝ මවනවා. සිංහල ජනතාවට කියනවා ඔබේ සතුරා තමිල් ජනතාව, මුස්ලිම් ජනතාව කියලා. තමිල් සහ මුස්ලිම් ජනතාවට කියනවා ඔබේ සතුරා සිංහලයා කියලා. වෛරය, සැකය, අවිශ්වාසය වගා කරන එක, ජාතිවාදය, ආගම්වාදය හරහා ජනතාව බෙදා වෙන් කර අසමගි කරන එක තමයි මේ අයගේ දේශපාලනය. ද්වේශය මත තීරණ ගන්න එපා,  එහෙම ගන්න තීරණ වරදිනවා.

මේ මැතිවරණ ව්‍යාපාරය ඡන්ද දායකයා භය කිරීම විශාල ලෙස භාවිතා කරන මැතිවරණයක්. එක්සත් ජාතික පක්ෂය ඇවිත් ගෝඨා එනවෝ, ගෝඨා එනවෝ, ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය ඉවරෝ කියලා කෑ ගහනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැන් කෑ ගහන්නේ අංගුලිමාල පනත ගෙනාපු, ප්‍රතිත්‍රස්ත පනත ගේන්න හදපු ආණ්ඩුවක් කියලා අමතක කරන්න එපා.

අනෙක් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂලා ඇවිත් කොටි එනවෝ, අයි එස් එනවෝ, බේර ගන්නනම් අපට දෙන්ඩෝ කියලා අපිව බය කරන්න හදනවා. රට විනාශකාරී යුද්ධයකට ඇදලා දාන ජාතිවාදී දේශපාලනය කරන අයමයි, අලුත්ගමදී, ගිංතොටදී, තෙල්දෙණියේදී ගැටුම් ඇති කරපු අයමයි මේවා කියන්නේ. ප්‍රශ්නය හදන අයම කියනවා උත්තර තියෙන්නේ ඒ ගොල්ලෝ ලඟ කියලා. රැවටෙන්නත් එපා, බය වෙන්නත් එපා.

ඒ වගේම අපේ සමාජයේ මෝඩකම් තියෙනවානම්, නොදන්නාකම් තියෙනවානම් ඒවා අවුස්සනවා. අවුරුදු 71ක් කළා වගේ අපිව ආපහු ගොනාට අන්දන්න පුළුවන් කියලා හිතනවා. අපි උදාහරණයක් ගමු. ගනේමුල්ලේ ජනතාවට තියෙන ප්‍රශ්න මොනවද? උහුලන්න බැරි ජීවන වියදම, අධික බදු බර, දරුවාගේ අධ්‍යාපනයේ ප්‍රශ්න, සෞඛ්‍ය පහසුකම් නැති එක, පොදු ප්‍රවාහනයේ ප්‍රශ්නය වගේ ඒවා.

මේ ගොල්ලෝ ඇවිත් ඒ ඇත්ත ප්‍රශ්න කතා නොකර අපේ ප්‍රශ්න කියලා වෙනම ජාතියක් කියනවා. විනය, ජාතික ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන සංස්කෘතිය, දූෂණ විරෝධය වගේ බරසාර වචන ගොඩක් එහාමෙහා යනවා. අපේ ප්‍රශ්න එහෙමමයි. අපිව මෝඩයාට අන්දන, අපේම ප්‍රශ්න අපට අමතක කරන දේශපාලන උගුලට අහු වෙන්න එපා.


බුදු හාමුදුරුවොත් එපා කිව්ව සතර මහා අගතීන්ගේ දේශපාලනය තමයි ධනවාදයේ දේශපාලනය. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඔබ ඉදිරියට ආවේ ඊට විරුද්ධ දේශපාලනය අරගෙන. ලෝභයේ, ආශාවේ දේශපාලනය වෙනුවට පරිත්‍යාගයේ, සමාජ වගකීමේ දේශපාලනය අරගෙන. ද්වේශයේ දේශපාලනය වෙනුවට ආදරයේ, මානව දයාවේ දේශපාලනය අරගෙන. අපි ආවේ ඔබව බය කරන්න නෙවෙයි, ඔබව ධෛර්‍යමත් කරන්න, ඕන අවදානමකට මුහුණ දෙන්න පුළුවන් විදියට සමාජ බලවේග ශක්තිමත් කරමු කියන යෝජනාව අරගෙන.

මේ දේශපාලනය සමාජයේ මෝහය, මෝඩකම පාවිච්චි කරලා ගොඩ වැඩි කර ගන්න දේශපාලනය නෙවෙයි. සමාජයේ ප්‍රඥාව, අවබෝධය, විචාර බුද්ධිය වෙත ආමන්ත්‍රණය කරන දේශපාලනය. සතර මහා අගතීන් මත පදනම් වන දේශපාලනය තමයි ධනවාදී දේශපාලනය. ඊට එරෙහි දේශපාලනයට අපි කියන තනි නම තමයි සමාජවාදී දේශපාලනය, වාමාංශික දේශපාලනය.

ඒ දේශපාලන මාවත වෙනුවෙන් සමාජවාදී අපේක්ෂකයා, දුමින්ද නාගමුව සහෝදරයා තෝරා ගන්න, කුළුගෙඩිය සලකුණ ඉදිරියේ ඡන්දය ලකුණු කරන්න. අපි දශක හතක මෝඩකම් වලට සමුදීලා අලුත් තීරණයක්, වෙනස් තීරණයක්, ලජ්ජා නොහිතෙන තීරණයක්, ආඩම්බර විය හැකි, සතුටු විය හැකි තීරණයක් ගමු. ඒ සඳහා එකම තේරීම කුළුගෙඩිය පමණයි.’  

t

o

p