අපි ඉන්නේ වඳවී යාමේ අනතුරක

November 11, 2019

සිංහල ජාතිය වඳවීමේ අවදානමක් ගැන බොහෝ දෙනා බියවී සිටියද, සිංහල පමණක් නොව සියළු ජාතීන් අයත් මිනිස් සංහතියම වඳවී යාමේ අනතුරක් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

මේ ලාභය පමණක් පදනම් කරගත් සමාජ-ආර්ථික ක්‍රමය විසින් පරිසරය වනසමින් තිබෙන ප්‍රමාණය කොතෙක්ද යත් එය මිනිස් සංහතියේ පැවැත්ම පවා අවදානමට හෙලා ඇති බව පැවසු පුබුදු ජයගොඩ ඒ විනාශය වසන් කරන පාලකයන් එහි වගකීම ජනතාව මත පටවමින් සිටින බවද පැවසීය. නොවැම්බර් 2වැනිදා දැරණියගල නගරයේ පැවැත්වුණු රැස්වීමක් අමතමින් මෙම අදහස් පලකළ ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.


‘අප මුහුණ දී සිටින බොහෝ අර්බුද වල නිර්මාපකයන් වන පාලකයන් ඒ අර්බුද ගසා කමින් අපේ අවම අයිතීන් පවා උදුරා ගන්නවා. ඊට හොඳම නිදසුන තමයි පසුගිය කාලයේ මේ දැරණියගල නගරය මුළුමනින් යටවන සේ සීතාවක ගඟ හරස් කර ඉදි කිරීමට සූදානම් වූ ජලාශ ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය අරගෙන දැරණියගල ජනතාව වෙත පැමිණි රජයේ බලධාරීන් කීවේ මොකක්ද?

ලෝක පරිමානයේ දේශගුණ වෙනස්වීම් සඳහා පිලියමක් ලෙස ලංකාවේ ජලාශ ඉදි කිරීමේ ව්‍යාපෘතියක් තිබෙනවා. ලෝක ජනතාවගේ ජීවිත සහ පරිසරය රැක ගැනීමට කැප කිරීමක් කරන්න, නගරයෙන් තමන්ගේ ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ඉවත් කර ගන්න කිව්වා. නමුත් මේ ජලාශ ව්‍යාපෘතියේ සැබෑ අරමුණ ලෝක දේශගුණ වෙනස්කම් පාලනය කිරීම නෙවෙයි.

මේ සැලසුම් හැදුවේ අලුතින් හදන වරාය නගරයට ජලය සපයන්න අවශ්‍ය ජල සැපයුම් ව්‍යාපෘතියක් සඳහා. බහුජාතික සමාගම්, මූල්‍ය ධනපතියන්, වෙළඳ ධන කුවේරයන් සතු ලාභ ගිණුම් තර කරන්න, ඉන්දියානු සාගරයේ ආධිපත්‍යය වෙනුවෙන් කෙල හලන චීනය සතුටු කරන්න ලංකාවේ ආණ්ඩු වරාය නගරය හදන්න ගත්තේ සාගරයේ පැවැත්ම, මත්ස්‍යයන් බිත්තර ලන ස්ථාන, ධීවරයන්ගේ ජීවන වෘත්තීය ආදී සියල්ල අවදානමේ හෙලමින්.

ඒ වරාය නගරයේ එකතු වන කුණු බැහැර කිරීම වෙනුවෙන් අරුවක්කාලු ජනතාවගේ ජීවිත අර්බුදයේ හෙළනවා. ඒ වරාය නගරයට ජලය සැපයුම වෙනුවෙන් දැරණියගල ජනතාවගේ වාසස්ථාන උදුරා ගන්නවා. ඒකට තමයි උත්සාහ දැරුවේ. වරාය නගරයට ජලය සපයන ව්‍යාපෘතිය වෙනුවෙන් කැළණි ගඟ, සීතාවක ගඟ, හොලම්බුව ඔය සහ වී ඔය හරස් කර ඉදි කරන විශාල ව්‍යාපෘතියක් ඔවුන් සැලසුම් කළා. ඒ සැලැස්මේ බොහෝ කොටස් වලට ඒ ප්‍රදේශ වල ජනතාව විරුද්ධ වීමෙන් පසුව බොරුවට දේශගුණ වෙනස්වීම් ගැන කියමින් දැරණියගල ජනතාව බිලි ගන්න ආවා.


ලෝක දේශගුණ වෙනස්වීම් කියන්නේ දැවැන්ත පාරිසරික ප්‍රශ්නයක්. එය සීතාවක ගඟ හරස් කරලා විසඳන්න බෑ. දේශගුණ විපර්යාස වල ප්‍රධාන හේතුවක්ව පවතින්නේ ගෝලීය උෂ්ණත්වයේ ඉහල යාම. ඒ ගෝලීය උෂ්ණත්වය ඉහල යාමට ප්‍රධාන හේතුව වායුගෝලයේ උෂ්ණත්වය වැඩි කරන කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වැනි හරිතාගාර වායු වර්ග වැඩිපුර නිකුත් කිරීම. ඒවා නිකුත් කරන්නේ විශාල කර්මාන්ත ශාලා පවත්වාගෙන යන අධිරාජ්‍යවාදී රටවල්.

ලෝකයේ වැඩිම හරිතාගාර වායු විමෝචනය කරන රට, ගෝලීය උෂ්ණත්වය ඉහල යාමේ ප්‍රධාන වගඋත්තරකරුවා ඇමරිකා එක්සත් ජනපදය. චීනය, යුරෝපා සංගමයේ රටවල් සහ රුසියාව ඊළඟට මෙයට වගකිව යුතුයි. ගෝලීය උෂ්ණත්වය මේ වේගයෙන්ම දිගටම ඉහල ගියොත් තව වසර 100කින් පෘථිවිය මිනිස් වාසයට නුසුදුසු තැනක් වෙනවා කියලා විද්‍යාඥයෝ කියන්නේ. විනාශය ඊටත් කලින් එනවා, ගෝලීය උෂ්ණත්වය තව අංශකයකින් ඉහල ගියොත් කෘමීන් වඳවීම ආරම්භ වෙනවා.

ඉහල උෂ්ණත්ව දරා ගන්න බැරි බඹරුන්, දෙඹරුන්, මී මැස්සන්, සමනලයන් වැනි කෘමීන් වඳ වී ගියොත් ශාක පරාගනය කරන්න කෙනෙක් නැති වෙනවා. ඒ නිසා විශාල ආහාර අර්බුදයක්, සාගතයක් ඇති වෙයි. ඒ වගේම පෘථිවි උෂ්ණත්වය ඉහල යාමෙන් ධ්‍රැව අයිස් දියවෙලා මුහුදු මට්ටම ඉහල යනවා. එවිට දූපත් රාජ්‍ය ගණනාවක් ලෝක සිතියමෙන් මැකී යාවි. ලංකාවටත් මේ බලපෑම විශාල ලෙස එනවා.

ලෝකයේ ලොකුම අර්බුදය දේශගුණ සරණාගතයන්ගේ අර්බුදය බවට පත්වෙයි කියලා අනාවැකි පලවී තිබෙනවා. සමහරු සිංහල ජාතියේ වඳ වීමක් ගැන බියෙන් ඉන්නවා. මේ පරිසර විනාශයට ඉඩ දුන්නොත් සිංහල පමණක් නොව සියළු ජාතීන් සමග මිනිස් වර්ගයාම වඳ වෙයි. මොන තරම් විනාශයක් සිදු වුනත්, එය වලක්වා ගැනීම වෙනුවෙන් තමන්ගේ ලාභය සොච්චමකින්වත් අඩු කර ගන්න මේ ඒකාධිකාර ප්‍රාග්ධන හිමියන් කැමති නෑ. දේශගුණ විපර්යාස වලට වග කියන්න ඕන ඒ ධනපතියන්.

අන්තිමේදී ඔවුන් තමන් විසින්ම ඇතිකළ අර්බුදය ගසා කමින් තවත් ලාභ උපයන්න දැරණියගල ජනතාවට කැප කිරීම් කරන්න කියනවා.
ලංකාවේ ආණ්ඩුව පරිසර විනාශයට මුළුමනින් ඉඩ දෙන ගමන් ජනතාව මත වගකීම පටවන්න හදනවා. ලෝකය විනාශ කරන බහුජාතික සමාගම් වලට ලංකාව බිලිදෙන ගමන් දැරණියගල ජනතාවට උන්හිටි තැන් අහිමි කරන්න යනවා.

මහා පරිමාණයෙන් රක්ෂිත වනාන්තර වනසන්න ඉඩ දීලා, පරිසරය රකින්න කියලා වඩු කර්මාන්තයට සීමා පනවන්න, ලී මෝල් තහනම් කරන්න යනවා. ලංකාවේ පරිසරය විනාශ වුණේ අපි ලී වලින් ගෘහ භාණ්ඩ හදපු නිසා හෝ උළුවහු හදන්න වත්තේ ගහක් කපපු නිසා නෙවෙයි, සිංහරාජ, විල්පත්තු, නකල්ස්, සෝමාවතිය වගේ දැවැන්ත සහ පාරිසරික වශයෙන් වැදගත් රක්ෂිත වනාන්තර එලි කරපු නිසා.

පරිසරය රැක ගන්න මොරටුවේ වඩු කර්මාන්තය නවත්වන්න හදන, දැරණියගල ජනතාවට නිවෙස් වලින් යන්න කියන ආණ්ඩුව රක්ෂිත වනාන්තර ගැන අනුගමනය කරන ප්‍රතිපත්තිය මොකක්ද? ඔක්තෝබර් 31වැනිදා විල්පත්තු රක්ෂිතය කැපීමට අදාළ නඩුව විභාග වුණා. රජය වෙනුවෙන් ඒ නඩුවට පෙනී සිටින නීතීඥයා යෝජනා කළේ මේ රක්ෂිත වල සීමා මායිම් නම් කර තිබෙන ගැසට් සියල්ල අවලංගු කරලා, දැනට කැලය කපා ඇති කොටස් ඉවත් කරලා, වනය ඉතිරිව තිබෙන කොටස් විතරක් අලුතින් ගැසට් කරමු කියලා.

එතකොට කොච්චර රක්ෂිත කැපුවත්, කපලා තියෙන්නේ රක්ෂිත නෙවෙයි කියලා නීතියෙන් අර්ථ දක්වන්න පුළුවන්. එහෙම කරන ආණ්ඩු තමයි ඔබට කැප කිරීම් කරන්න කියන්නේ.
ගෝලීය උණුසුමට සහ පරිසර විනාශයට එරෙහිව ලෝකය පුරා පාසල් සිසුන්ගේ උද්ඝෝෂණ පැවැත්වෙනවා. ඒ උද්ඝෝෂණ වල සටන්පාඨ වල තියෙන්නේ දේශගුණ විපර්යාස නවත්වන්නනම් ක්‍රමය විපර්යාස කරමු කියලා.

Climate Change වලට එරෙහිව මතු කරන්නේ System Change. ඒ නිසා මේ පාරිසරික සංහාරයත්, එමගින් එල්ල වී තිබෙන මානව වර්ගයාගේ පැවැත්ම පිලිබඳ අභියෝගයත් සමනය කළ හැක්කේ ලාභයම අරමුණු කරගත් ධනවාදය වෙනුවට මිනිසාත්, පරිසරයත්, සමාජයත් කෙරෙහි වගකීම් සහගත සමාජයක් නිර්මාණය කිරීමෙන්. ඒ සමාජයට අපි කියන නම සමාජවාදය.

ඒ නිසා මේ ප්‍රශ්නයට අවසන් විසඳුමක් සඳහා එකම තේරීම සමාජවාදය. මේ මැතිවරණයේදී ඔබට ඇති එකම තේරීම ඒ සමාජවාදය වෙනුවෙන් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන දුමින්ද නාගමුව සහෝදරයා සහ කුළුගෙඩිය ලකුණ. ඒ වගේම දැරණියගල වනසන්න ගෙනා මේ ජලාශ ව්‍යාපෘතිය පරාජය කළේ ජනතාවගේ ශක්තියෙන්, ජනතාවගේ බලයෙන්. හෙටත් අපට මේ අභියෝග ජය ගන්න සවිමත් කළ යුත්තේ ජනතාවගේ බලය.

අපි ඒ සඳහා ශක්තිමත් මහජන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුයි. මේ ජලාශ ව්‍යාපෘතියට එරෙහි අරගලයේ ඔබ සමග ඉදිරියෙන්ම සිටියේ කවුද, හෙටත් ජනතාවගේ අරගලය සමග ඉන්නේ කවුද කියලා දැරණියගල ජනතාව දන්නවා. ඒ අරගලය ශක්තිමත් කරනවානම් ඡන්දය භාවිතා කරන්න තිබෙන එකම සලකුණ කුළුගෙඩිය විතරයි. අවසන් විසඳුම වෙනුවෙන් වගේම තාවකාලික විසඳුම වෙනුවෙනුත් අපට තෝරා ගැනීමට ඇත්තේ එක තේරීමයි.

ඒ කුළුගෙඩිය ලකුණ, ඒ දුමින්ද නාගමුව සහෝදරයා, ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂය.’ 

t

o

p