දෙමළ ජාතික සන්ධානයේ පාවාදීමේ දේශපාලනයට එරෙහිව කුළුගෙඩිය ලකුණට ඡන්දය දෙන්න

November 7, 2019

පෙරටුගාමී සමාජවාදී පක්ෂය  පසුගිය කාලයේ පීඩිත ජන ප්‍රජාවන් වෙනුවෙන්  අරගලයක නිරතවූ බවද ඉදිරියටත් ඒ අරගලය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ජනාධිපතිවරණය හමුවේ අපේක්ෂකයකු ඉදිරිපත්කරනු ලබන බවත් පැහැදිලි කරමින් යාපනයේදී ජනමාධ්‍ය හමුවක් පවත්වන ලදී.

විශේෂයෙන් පාලක කණ්ඩායම්වලට වාසිදායක ආකාරයට පීඩිත තමිල් ජනයාගේ අයිතිවාසිකම් පාවාදෙන දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මූලික ඉල්ලීම් වෙනුවෙන් දේශපාලන අරගලයක් නොකරන තත්වයකදී ඒ වෙනුවෙන් අරගලයට නායකත්වය දෙන්නට පෙ.ස.ප. තවදුරටත් පෙනී සිටින බව එහිදී ප්‍රකාශ කෙරිණි.

පෙ.ස.ප. වෙනුවෙන් සමාජවාදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන දුමින්ද නාගමුව ඇතුළු නියෝජිතයන් සහභාගි වූ මෙම මාධ්‍ය හමුවේදී ඔහු දැක්වූ අදහස් සංක්ෂිප්තයක් මෙසේය.

“වසර 71ක පාලනය තුළ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ කිසිදු ගැටලුවක් විසඳන්නට අසමත් වෙලා තිබෙනවා. 1978 යූ.ඇන්.පී. ආණ්ඩුව විසින් ගෙන ආ විවෘත ආර්ථිකය මාරුවෙන් මාරුවට පොදු පෙරමුණත්, එ.ජ.නි.ස.ත් ක්‍රියාත්මක කළා.

එයින් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා නැවත වරක් ඔප්පු කළා. ඒ හැම ආණ්ඩුවක් වගේම පසුගිය අවුරුදු හතර හමාරක රනිල්මෛත්‍රි පාලනය සහ දැන් නැවත යූ ඇන්පී ආණ්ඩුව විසිනුත් ජනතා ප්‍රශ්න උග්‍ර කළා මිස විසඳන්න කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා නෑ. ඒ නිසා මේවනවිට ජනාධිපතිවරණය හමුවේ අපට වටහාගන්න තියෙන මූලික කාරණයක් තමයි මේ පාලක පක්ෂ දෙකටම මේ රටේ ප්‍රශ්න විසඳන්න ඔවුන් ගෙන යන වැඩපිළිවෙළ හරහා ජනතාව පෙළන පීඩාවෙන් මුදවන්න හැකි වෙලා නෑ.

පළවෙනි කාරණය ලෙස අපි මේ ජනාධිපතිවරණය හමුවේ ජනතාව ආමන්ත්‍රණය කරමින් මතුකරන ප්‍රධාන කාරණය තමයි මේ මේ සමාජ ආර්ථික ක්‍රමයට විසඳුම් දෙන්න නොහැකි වී තිබෙන සමාජ ආර්ථික අර්බුදයක් වෙලා තියෙන තත්වයට විකල්පය සමාජවාදී වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවන්න ඕන කියන එක.

ඒ නිසා මේ මොහොතේ ජයග්‍රහණ නොලැබෙන තත්වයක් යටතේ වුවත් යම් කිසි කාලයක් ගතවෙලා හරි සමාජයට ඇත්ත ජයග්‍රහණයක් ලබාගන්න වෙන්නෙ සමාජවාදී වැඩපිළිවෙළකින් කියන එක අපි අවධාරනය කරනවා. ඒ නිසා ඒ සමාජවාදී වැඩපිළිවෙළ ජයග්‍රහණය කිරීම අරමුණු කරගෙන තමයි අපි මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නෙ.

දෙවැනි කාරණය ලෙස ඒ ගැටලු ගණනාවක් විසඳිලා නැතිව තිබෙන පසුබිම තුළම තවත් ප්‍රශ්න ගණනාවක් අප හමුවේ අභියෝග ලෙස මතු වෙන්න නියමිතයි. ඒ ප්‍රශ්න හමුවේ අපේ සමාජයට තවදුරටත් විනාශ නොවී පවතින්න නම් කිසියම් අරගලයකට යන්න සිදුවෙනවා. අන්න ඒ අරගලයට නායකත්වය දෙන ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම වෙනුවෙන් මේ ජනාධිපතිවරණයෙදි ඡන්දය පාවිච්චි කරන්න කියන කාරණය අපි ජනතාව හමුවේ තබනවා.

ඒ නිසා මූලික වශයෙන් ජනතා ප්‍රශ්න විසඳීමේ වැඩපිළිවෙළ ලෙස සමාජවාදය ජයග්‍රහණය කිරීම අරමුණු කරගෙන සහ ඉදිරියේදී මුහුණ දෙන්න සිදුවන ගැටලුකාරී පීඩාකාරී තත්වයන් හමුවේ ගෙන යායුතුවන අරගලය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරණයෙදි ඡන්දයක් දෙන ලෙස අපි ජනතාවට කියනවා.

මේ වනවිට පක්ෂයක් ලෙස අපි සම්බන්ධ වූ අරගල ගණනාවක අත්දැකීම් තිබෙනවා. විශේෂයෙන් රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහි අරගලයක අපි නිරත වුණා. ඉදිරියේදී සිදුවන්නට නියමිත නීති සංශෝධන හරහා රාජ්‍ය සේවකයන් සියලු දෙනාටම ඒ අභියෝගයට මුහුණ දෙන්න වෙන තත්වයක් තිබෙනවා.

අර්ථසාධක අරමුදල කොල්ලකෑම සඳහා ගෙන එන්නට නියමිත පනතක් තිබෙනවා. අර්ථසාධක අරමුදල කොටස් 4කට කඩලා කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීමයි අරමුණ. ඒ ආකාරයට සේවකයන්ට හිමි අරමුදල් පාලකයන්ගෙ ආර්ථික අර්බුදය වසාගන්න භාවිත කරන්න සූදානම් වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයන්ගෙ අයිතිවාසිකම් කප්පාදු කිරීමේ නීති සංශෝධන ගෙන එන්න නියමිතයි.

ඒ පනතට අනුව සේවකයන්ගෙ පැය 8 වැඩ දිනය සහ නියමිත නිවාඩු කප්පාදු කිරීමට නියමිතයි. ඊට අමතරව මේ රටේ ගොවි ජනයාගේ ඉඩම් අක්කර ලක්ෂ 30ක් උදුරාගෙන පෞද්ගලික සමාගම්වලට ලබාදෙන සැලැස්මක් ක්‍රියාත්මක කරන්න නියමිතයි. දැනට  වශයෙන් ඉඩම් අක්කර ලක්ෂ 12ක් එක්සත් ජනපදයට ලබා දීමේ කටයුතු ක්‍රියාත්මක කරන්න ඇමති මණ්ඩලය සම්මත කරලා තියෙන්නෙ.

ඒ තඅරම මේ රටේ මුස්ලිම් සහ තමිල් ජාතික ප්‍රජාව මුහුණ දෙන පීඩාවට එරෙහිව අපි පක්ෂයක් ලෙස විශාල අරගලයක යෙදුණා. පසුගිය කාලයක් පුරා මුස්ලිම් ජන ප්‍රජාව මුහුණ දුන් ප්‍රචණ්ඩ තත්වයන්ට එරෙහිව අපි මැදිහත් වුණා. ජනතාව අතර මුස්ලිම් විරෝධී අදහස් ප්‍රචාරය කිරීමට එරෙහිවත් ඔවුන්ට එරෙහි ප්‍රචණ්ඩ ලෙස ක්‍රියාකිරීමට එරෙහිව අපි මැදිහත් වුණා.

විශේෂයෙන් රාජපක්ෂ පාලනය යටතේ බේරුවල, දර්ගා නගරයේ වැනි ස්ථානවල ගිනිතැබීම් සිදුකරමින් මර්දනකාරී තත්වයක් ඇති කළා. වර්තමාන පාලනය යටතේ නුවර දිගන ප්‍රෙද්ශයේ ජාතිවාදි ගින්න ඇවිලවූවා. මේ පාලක කණ්ඩායම් දෙකම මුස්ලිම් ජනතාව බියවැද්දීමේ අරමුණින් ඔවුන්ගේ ඡන්දය කොල්ලකෑමේ අරමුණින් සිදුකළ ක්‍රියාමාර්ග බව පැහැදිලියි. පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා මේ ජාතිවාදී අන්තවාදී ගැටුම් පෙළ ගැසුණා. මේක එක පැත්තකින් සමාජ ඛේදවාචකයක්.

තිස් අවුරුදු යුද්ධයකට මැදිවූ රටක් ලෙස මෙම තත්වය පාවිච්චි කරමින් සමාජය විශාල ලෙස බියගන්වා තිබෙනවා. ඒ බියවැද්දීම පාවිච්චි කරමින් මේ වනවිට ජනාධිපතිවරණ වේදිකාවෙ සෙල්ලම් කරන්න මේ පාලක කණ්ඩායම් මෙන්ම ඔවුන් පසුපස යන ජාතිවාදී පක්ෂ කටයුතු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මෙම බියවැද්දීම පාවිච්චි කරමින් ජනාධිපතිවරණ වේදිකාවෙ බලයට එන්න කටයුතු කරමින් ඉන්නවා.

මීට අමතරව උතුර හා නැගෙනහිර ප්‍රදේශවල ජනතාව මුහුණ දුන්න විශේෂ ප්‍රශ්නයක් ලෙස අතුරුදන්වීම් සම්බන්ධ සත්‍ය හෙළිදරව් කරන ලෙසත් අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට  බොරු පොරොන්දු දෙන එක නවත්වලා යුක්ති සහගත විසඳුම් ලබා දෙන ලෙසත් පාලකයන්ට බල කරමින් අපි අරගලයක නිරත වුණා.

රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පිළිගත හැකි යුක්ති සහගත වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යන්න අපි බලකළා. නමුත් තවමත් ඒ අතුරුදන්වූවන් සම්බන්ධ සත්‍ය හෙළිදරව් කරන්න පාලකයන් සමත් වෙලා නෑ. අතරමැදි පැලැස්තර විසඳුම්වලින් උතුරේ හා නැගෙනහිර ජනයාගෙ ඡන්ද කොල්ලකන්න ඔවුන් කටයුතු කළා. ඒ නිසා ඔවුන් සමග එක්ව හිඳිමින් තවදුරටත් යුක්තිය ඉටු කරන්න සත්‍ය හෙළිදරව් කරන්න අරගලයක අපි නිරත වෙනවා.

ඒ වගේම රාජපක්ෂ පාලනය විසින් අපේ පක්ෂයේ ලලිත් කුමාර් විරරාජු සහෝදරයත් කුහන් මුරුගානන්දන් සහෝදරයාත් යාපනේදී අතුරුදන් කරනු ලැබුවා. අතුරුදන්වූවන් වෙනුවෙන් අපි මුල සිටම අරගලයක නිරතව සිටියා. ඒ අතුරුදන්වූවන් සොයා දෙන්න, ඔවුන් පිළිබඳ සත්‍ය අනාවරණය කරන්න අරගල කරපු ලලිත්- කුහන් සහෝදරවරු අතුරුදන් කළාට පසුවත් අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ඒ අරගලයෙ නිරතව තවදුරටත් කටයුතු කරමින් ඉන්නවා.

ඒ වගේම යුද්ධය කාලයේ විවිධ හේතු දක්වමින් කොල්ල කෑ උතුර හා නැගෙනහිර ජනතාවගේ ඉඩම් දේපළ නැවත පවරාදීම වෙනුවෙන් අපි දීර්ඝ වශයෙන් කටයුතු කරමින් ඔවුන්ගේ අරගලය සමග එක්ව කටයුතු කරමින් ඉන්නවා. රාජපක්ෂලාගෙ වගේම රනිල්-මෛත්‍රී ආණ්ඩු විසින් දිගටම ඔවුන්ගේ ඉල්ලීම් නොතකා හැර තිබෙනවා. මැතිවරණය කිට්ටු වෙනකොට උතුරට ගිහින් ඉඩම් නැවත ලබා දෙන බවට ප්‍රකාශ නිකුත් කරනවා.

නමුත් තවත් ඉඩම් අක්කර සිය ගණනක් හමුදා කඳවුරුවලට හා වෙනත් කාර්යයන්ට යොදාගෙන ජනතාව එයින් ඉවත්කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, පසුගිය යුද්ධයෙන් පසුව දේශපාලන සිරකරුවන් සම්බන්ධ ප්‍රශ්නය උතුර හා නැගෙනහිර ජනතාව විසින් ගෙන ගිය අරගලයක්. ඒ අරගලය දකුණට අරගෙන ගියේත් ඒ වෙනුවෙන් කොළඹදී සිදුකළ විරෝධතා ව්‍යාපාර සැළකිය යුතු ප්‍රමාණයකට මූලික වුණෙත් අපි, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්.

තවමත් මේ ජනාධිපතිවරණයෙදිත් මේ ප්‍රධාන කියාගන්නා දේශපාලන පක්ෂ විසින් ජාතිවාදය අවුස්සමින් තිබෙනවා. නමුත් අපි කියන්නෙ සිංහල, තමිල්, මුස්ලිම් කියන ජාතික ප්‍රජාවන් ඒකරාශි වී අරගල කිරීමෙන් පමණයි, මේ රටේ ජාතිවාදය පරාජයට පත් කළ හැකිවන්නේ. අපි කියනවා ජාතිවාදයට එරෙහිව සිංහල පීඩිතයත්, දෙමළ පීඩිතයත්, මුස්ලිම් පීඩිතයත් ඒකාබද්ධ කරන අරගලයකින් පමණයි විසඳුම් ලබාගත හැකි වන්නේ.

ඒ ජනතාව එකමිටකට ඒකාබද්ධ කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ජයග්‍රහණය කරවිය හැකි දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස මේ දක්වා එම අරගලයට යම් ප්‍රමාණයකින් දායකත්වය දුන්නා වගේම ඉදිරියට නිසැකවම ජාතික අනන්‍යතා පදනම් කරගෙන හෝ ආගමික වේවා වෙනත් අනන්‍යතා පදනම් කරගෙන කෙරෙන පීඩාවට, ප්‍රචණ්ඩත්වයට හා මර්දනයට එරෙහිව කටයුතු කරනවා, ඒ සියලු ජනතාවන් සමග එක්ව අරගලයට නායකත්වය දෙන බව ප්‍රකාශ කරනවා.

මේ අතර දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ එකතු වෙලා මේ රටේ දෙමළ ජනතාවගේ ඡන්දය පාලකයන්ට අවශ්‍ය ආකාරයට හසුරුවන්න විශේෂයෙන් පාලකයන් බලයට පත් කිරීමට පමණක් නොව, පාලක කණ්ඩායම්වලට දේශපාලන බලය පවත්වාගෙන යන්න ඍජුව හා වක්‍රව සහාය ලබා දුන්නා. පසුගිය ආණ්ඩුවේ විපක්ෂය ලෙස කිව්වට ආණ්ඩුවම තුළ තමයි ඔවුන් ඇත්ත වශයෙන්ම හිටියෙ.

විපක්ෂනායකකම ඔවුන්ට හිමිවුණෙත් අන්න ඒ එකඟතා අනුව, එහෙම නැතිව එවැනි වරප්‍රසාදවලින් තමිල් ජනයාගේ ප්‍රශ්න විසඳන පැත්තට නෙවෙයි. තමිල් ජනයා මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාගන්නවා වෙනුවට ඒ ප්‍රශ්න පදනම් කරගෙන හෙට්ටු කරමින් තම දේශපාලන බලය ආරක්ෂා කරගන්න ආණ්ඩුව සමග ගනුදෙනු පවත්වාගෙන යන වංචනික දේශපාලනයක නිරත වුණා.

තමිල් ජනතාවගේ ප්‍රශ්න ඉදිරියට ගෙන එමින් තමිල් ජනයා පාවාදීමේ දේශපාලනයක් ඔවුන් කරමින් සිටින බව අපි එදත් කිව්වා, අදත් හෙටත් ඔවුන්ගේ දේශපාලන පියවර තැබීම් පෙන්නුම් කරන්නේ ඒ පාවාදීමේ දේශපාලනයෙන් ඔවුන් වෙනස් වෙලා නැති බවයි.

අඩුමගානෙ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සහ දේශපාලන සිරකරුවන් සම්බන්ධ ආණ්ඩුවට බලපෑම් කිරීමේ දේශපාලන පියවර තැබීමක් දෙමළ ජාතික සන්ධානය සිදුකළේ නැති බව අපි කියනවා.

පසුගිය කාලෙය් මීට අමතරව අපි වතුකරයේ කම්කරු ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරලය ශක්තිමත් කරන්න අපි කටයුතු කළා. වතු හිමියන් සහ ඔවුන් සමග ඩීල් දාන කම්කරු නායකයන් ලෙස පෙනී ඉන්න තැරැව්කරුවන් වතු ජනයාට කිසිදු සහනයක් ගෙන එන්න කටයුතු නොකරන තත්වයකදී, දෛනික වැටුප රු 1000ක් කිරීම, නිවාස, ස්ථිර වැටුප් ආදි ඉල්ලීම් පදනම් කරගෙන අපි අරගලයක නිරත වෙමින් සිටිනවා.

මේ නිසා අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස මේ රටේ තමිල් පීඩිත ජනතාවට කියන්න කැමතියි, මේ අරගලවල නිරත වෙමින් අපි ඉදිරියටත් ඒ සියලු අරගලවල පුලුල් ජයග්‍රහණ ඉලක්ක කරමින් ක්‍රියාත්මක වෙමින් සිටිනවා. මැතිවරණවලදී පමණක් සටන්පාඨ කීම වෙනුවට ඇත්ත අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලයෙදි අපි ඉදිරියටත් ශක්තිමත්ව සටන් කිරීමේ අරමුණ ඇතිව මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ කුළුගෙඩිය ලකුණින්. සියලුම පීඩිත ජන ප්‍රජාවන්ගේ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ගෙන යන අරගලය ශක්තිමත් කිරීමට කුළුගෙඩිය ලකුණට ඡන්දය දෙන ලෙස අපි ආරාධනා කරනවා.“

t

o

p