ජාතික හෙළ උරුමයේ විකල්ප කණ්ඩායමේ සහාය ගෝඨාට

October 29, 2019

ජාතික හෙළ උරුමයේ විකල්ප කණ්ඩායම මෙවර ජනාධිපතිවරණයේ දි ගෝඨාභය රාජපක්ෂ මහතාට  සහාය පළ කිරීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය විකල්ප කණ්ඩායමේ කැදවුම්කරු රොෂාන් ජයසිංහ මහතා සදහන් කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ මේ රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ මහින්ද රාජපක්ෂ – ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයට පමණක්යැ’යි තම කණ්ඩායම විශ්වාස කරන බව යි.

ජාතික හෙළ උරුමය විකල්ප කණ්ඩායම මෙවර ජනාධිපතිවරණයේ දී ගනු ලබන ස්ථාවරය පැහැදිලි කිරීම සදහා මිනුවන්ගොඩ දී  පැවැති මාධ්‍ය  හමුවක දී ජයසිංහ මහතා මේ බව සදහන් කළේ ය.

මෙහි දි වැඩි දුරටත් අදහස් දැක් වු ජයසිංහ මහතා මෙසේ ද කිවේ ය.

“ජාතික හෙළ උරුමය බිහිවුණේ  සෝම හිමියන්ගේ දර්ශනය අනුවයි.නමුත් එය පසුකාලීනව පා.ච රණවක මහතාගේ තනි බූදලයක් බවට පත් වුණා. ඔහු පක්ෂය හැසිරෙව්වේ ඒකාධිපතියෙක් වගේ. ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස පෙනී සිටියාට පක්ෂය තුළ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේ නෑ.

 2015 දී ඇමති පාඨලී චම්පික රණවක මහතා ලෙන් දොර බිදලා ගියේ වැරදි ගමනක්.ඔහු රනිල් ව හැදින්වුයේ නූතන දොන් ජුවන් ධර්මපාල විදිහට. ඒ නූතන දොන් ජුවන් ධර්මපාල සමග එකතු වෙලා බෙදුම්වාදය රට තුළ ස්ථාපිත කරන්නයි චම්පික ඇමතිතුමා 2015 දී රනිල් – මෛත්‍රී අශුද්ධ හවුලට එකතු වුණේ.එදා අපි මේ රටට වෙන්න යන විනාශය දැක්කා. ඒ නිසා අපි පාඨලී චම්පික ඇමතිවරයා  අතහැර දැමුවා. එදා පිරිසිදු ජාතික හෙළ උරුමයේ සියලු දෙනා චම්පික ඇමතිතුමා අතහැර දැමුවා. 1 % ක් වගේ පිරිසක් තමයි චම්පිකට පක්ෂව ඉන්නේ.

පාඨලි චම්පික රණවක ඇමතිතුමා සුදු පිරුවට ඇන්දට ඔහු අන්ත දූෂිතයෙක් බව මා පෞද්ගලිකවම දන්නවා. ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ ජනාධිපතිවරයා වෙන්න. ඒ නිසයි ඔහු එක්සත් ජාතික පක්ෂයට ගියේ. එක්සත් ජාතික පක්ෂය හරහා රටේ නායකත්වයට ඒමේ අරමුණ මතයි ඔහු කටයුතු කරන්නේ. ඔහුගේ දේශප්‍රේමය ව්‍යාජ දේශප්‍රේමයක්. ඔහු සැබැ දේශප්‍රේමියෙක් නෙවෙයි.

ඇත්තටම පාඨලී චම්පික රණවක දේශප්‍රේමියෙකු ලෙස පෙනී සිටිමින් මේ කරන්නේ තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීමට උත්සහ කිරීමයි. වත්මන් යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාව අනතුරේ හෙලද්දී ඔය මහා දේශප්‍රේමී පා.ච රණවක හිටියේ බුදියගෙන. අපි අභියෝග කරනවා පුළුවන්නම් ජාතික හෙළ උරුමය ලකුණින් ඊළග මැතිවරණයේ දී වෙනම තරග කරලා පාර්ලිමේන්තු එන්න කියලා. අපි කොහොමත් ඊළග මැතිවරණයේ දී  මේ බොරු දේශප්‍රේමියාගේ සුදු පිරුවට ගලවන්න කටයුතු කරනවා.

අපිට ඡන්ද ලක්ෂ 05ක් පමණ තියෙනවා. දිවයින පුරාම හැම ආසනයකම අපේ නියෝජිතයෝ ඉන්නවා. අපි එකාවන් ව මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්න කටයුතු කරනවා.

ජාතික හෙළ උරුමය විකල්ප කණ්ඩායමේ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායකවරු ද මෙ‍ම අවස්ථාවට එක්ව සිටිය හ.

t

o

p