ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී එළිදැක්විණි. ‘ඔබට රටක් – රටට හෙටක්‘ යන්න මුල් කරගෙන සකසා තිබුණු එම ප්‍රතිපත්ති ප්රකාශනය තුළ ජාතික ආරක්ෂාවට මුල් තැන, මිත්‍රශීලී සහ නොබැඳුණු විදෙස් ප්‍රතිපත්තියක්, පිරිසිදු රාජ්‍ය පාලනයක්, ජනතාවට වගකියන ව්‍යවස්ථා ප්රතිසංස්කරණයක්, ඵලදායී පුරවැසියෙක් – සශ්‍රීක මානව සම්පතක්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, තාක්ෂණය මත පදනම් වන සමාජයක්, භෞතික සම්පත් සංවර්ධනය, තිරසර පරිසර කළමනාකරණය, විනයගරුක, නීතිගරුක සහ ගුණගරුක සමාජයක් යන දස ප්‍රතිපදා කේන්ද්‍ර කොට ගෙන සකසා තිබේ.
ජාතික ආරක්ෂාව යටතේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙසින් පිළිගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය උවදුරෙන් රට නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ද කරුණු පැහැදිලි කර තිබේ.
පළමුව මහා සංඝරත්නයටත් ඉන් අනතුරුව හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික පූජ්‍ය පක්ෂයටත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටත් එය පිළිගන්වනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.
අනතුරුව විද්වතුන්, කලාකරුවන් ඇතුළු සෙසු ප්‍රධාන ආරාධිතයන් වෙත ප්‍රතිපත්ති ප්රකාශනය පිළිගැන්විණි. ප්‍රතිපත්ති ප්රකාශනයේ ඩිජිටල් පිටපත එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරිණි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු රටට හෙළිදරව් කිරීම සඳහා පූර්ණ බලතල සහිත ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ප්‍රතිඥා දී තිබේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.