රාජ්‍ය ආයතන පාඩු නොවන ලෙස පවත්වාගෙන යාමට ජනතා සහන කප්පාදු කල යුතුයි

October 26, 2019

රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩු නොවන ලෙස පවත්වාගෙන යන බවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ආර්ථික න්‍යාය ක්‍රියාත්මක කිරීම නිසා ජල ගාස්තුව හතර ගුණයකින්, විදුලි ගාස්තුව පස් ගුණයකින් සහ රජයේ සේවක දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හය ගුණයකින් වැඩිවන බව ද, ලක්‍ෂයකට රැකියා අහිමි වන බව ද ප්‍රකාශ කළේය. 

අක්මීමන, පෝද්දල පැවති ජනපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසූයේ මේ ආකාරයෙන් ජනතා සහන කප්පාදු කරමින්, රැකියා අහිමි කරමින්, රටේ ප්‍රශ්න විසඳන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තමන් අභියෝග කරන බවයි.

එම රැලිය අමතා තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

පසුගිය 22 වැනිදා මාලඹේ පැවති රැස්වීමක දී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලූ රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යන බව ප්‍රකාශ කළා. ඒ බව ඔහුට සහයෝගය ලබාදෙන පුවත්පත්වල ලොකු අකුරින් පළකොට තිබෙනවා.

එම ප්‍රකාශයෙන් සනාථ වන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතනවලට භාණ්ඩාගාරයෙන් මුදල් නොගෙවන බවයි. ඒ නිසා ඒ ඒ ආයතන තමන් විසින්ම නඩත්තු විය යුතුයි.

මේ වන විට පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා රුපියල් කෝටි 2600ක් භාණ්ඩාගාරයෙන් ලබා දෙනවා. ඒ මුදල අත්හිටවුවහොත් සිදු වෙන්නේ කුමක්ද? දැනට මෙම ආයතනවල දෙලක්‍ෂ තිස් දාහක් පමණ සේවයේ නිරතව සිටිනවා. සංස්ථාවලට භාණ්ඩාගාරයෙන් ගෙවන මුදල නවතා දැමුවොත් ඒවායෙහි වියදම් අඩුකිරීමටත්, රැකියාවල නියුතු සංඛ්‍යාව අඩු කිරීමටත් සිදුවෙනවා. ඒ අනුව ලක්‍ෂයකට පමණ රැකියා අහිමි වෙනවා.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරන පරිදි සංස්ථා සඳහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන මුදල් නතර කළොත් ජල සම්පාදන මණ්ඩලයට සිය පාඩුව පියවා ගැනීම සඳහා ජල බිල වැඩි කිරීමට සිදුවෙනවා. ජල ඝණ ලීටරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 47ක් වැය වුණත් පාරිභෝගිකයාට ලබා දෙන්නේ රුපියල් 12 කටයි.  විදුලිබල මණ්ඩලයට විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා රුපියල් 19.12 වැය වුණත්, පාරිභෝගිකයාට ලබා දෙන්නේ රුපියල් 4.91 කටයි.

ගෝඨාභය ආර්ථික න්‍යාය ක්‍රියාත්මක කළ විට ජල ගාස්තුව හතර ගුණයකින් වැඩිවෙනවා. විදුලි ගාස්තුව පස් ගුණයකින් වැඩිවෙනවා. එසේම රජයේ සේවක දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හය ගුණයකින් වැඩිවෙනවා. ලක්‍ෂයකට රැකියා අහිමි වෙනවා.

එදා පෙට්‍රල් ලීටරයක් රු. 162.00 ද, ඩීසල් ලීටරය රු.118 කටද, භූමිතෙල් 110 කටද, ගෑස් රු. 2650 කටද අලෙවි කළ රාජපක්ෂවරුන්ට නැවත බඩුමිල ඉහළ දැමීම ප්‍රශ්නයක් නොවෙයි. ඊට විරුද්ධව උද්ඝෝණය කරන අයට වෙඩි උණ්ඩ වලින් පිළිතුරු දීමත් ඔවුන්ට ප්‍රශ්නයක් නොවෙයි.

ලක්ෂයකගේ රැකියා අහිමිකර, ජීවන වියදම වැඩිකර රටේ ආර්ථික ප්‍රශ්න විසදන්නේ කෙසේද කියා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ වහා රටට ප්‍රකාශ කළ යුතුයි.”

t

o

p