ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ පාර්ලිමේන්තුවට

October 21, 2019

නැවත වරක් පාස්කු ඉරිදා සිදුවීම හා සමාන සිදුවීමක් ඇති නොවීමට ගත යුතු පියවර සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ලබන 23 වෙනිදා ඉදිරිපත් කිරීමට 2019 අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කටයුතු යොදා ඇති බව එහි සභාපති නියෝජ්‍ය නථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

පිටු 200 කින් පමණ සමන්විත එම වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කෙරෙමින් තිබෙන බව නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

මෙම වාර්තාව සම්බන්ධව පළවන ඇතැම් වාර්තා නිවැරදි නොවන බව පැවසූ ආනන්ද කුමාරසිරි මහතා විශේෂ කාරක සභාව පත් කරනු ලැබුවේ කිසිවෙකු හෝ වරදකරු කිරීමට නොවන බව සඳහන් කළේය.

“මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ. ඒ බලය තියෙන්නේ උසාවියට. විශේෂ කාරක සභාවට පැවරුණු කාර්යභාරය වූයේ අතපසුවීම්, අඩුපාඩු හා දුර්වලතා සිදුවූයේ කොතැනදැයි සොයා බැලීම” යැයිද හෙතෙම පැවසීය.

නැගෙනහිර පළාත තුළ මෙවැනි පසුබිමක් නිර්මාණයවීම, එම තොරතුරු නිසිලෙස වාර්තා නොවීම, ආරක්ෂක අංශ අතර සම්බන්ධිකරණයක් සිදු නොවීම, බුද්ධි සේවාවලින් ලැබුණු තොරතුරු නිසි ඇගයීමකට ලක් නොවීම වැනි කරුණු මෙහිදී සොයාබැලූ බවද කුමාරසිරි මහතා පැවසීය.

එලෙස හඳුනාගත් අඩුපාඩු මෙන්ම ඉදිරියේදී එවැනි සිදුවීමක් ඇති නොවීමට ගත යුතු පියවරද වාර්තාව මගින් නිර්දේශ කරනු ලබන බවද නියෝජ්‍ය  කථානායක ආනන්ද කුමාරසිරි මහතා තවදුරටත් පැවසීය

t

o

p