සජිත් මහනුවරට

October 9, 2019

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමාදාස මහතා ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් උතුම් දළදා වහන්සේට පුෂ්පෝපහාර දැක්වූහ. දළදා මාළිගාවට පැමිණි සජිත් ප්‍රේමාදාස මහතාව පිළිගනු ලැබුවේ දියවඩන නිලමෙ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි

මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුශාසනා මත අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය 500 නමකගේ සහභාගීත්වයෙන් සජිත් ප්‍රේමාදාස මහතාට ආශිර්වාද පතා දළදා මාළිගයේ සතර මහා දේවාල භූමියේදී ජය පිරිත සජ්ඣායනා කළහ. ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කිරීම සඳහා  වැඩමකර සිටීම විශේෂත්වයකි.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන් විසින් මෙහිදී කෙටි අනුශාසනාවක් සිදුකළහ. දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එදා ගම්උදා ඉදිකිරීමේදී  දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ප්‍රධාන විහාරස්ථානයන්හි ආකෘති එම ගම්උදාවල නිර්මාණය කිරීමේ සිට දළදා මාළිගාවේ රන් වියන නිර්මාණය කිරීම දක්වා ධර්මය මුල්කර ගනිමින් ගමනක් ගියා. සජිත් ප්‍රේමදාස මහතා තම පියාගේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන නිසා මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවනවා. ඔබතුමාත් පියා මෙන් රාජ්‍ය පරිපාලනයට බුදුදහම සම ගළපා ගැනීම වැදගත් වනවා. මහා සංඝරත්නය වශයෙන් අප ඔබතුමන්ට සෙත් පිරිත් දේශනා කර උතුම් ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා” යනුවේන අනුශාසනා කළහ.

අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.    

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහනායක වරකාගොඩ ධම්මදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ “තමන් ජනාධිපතිධූරයට පත්වූ වහාම සෑම ක්ෂේත්‍ර සඳහාම ජනාධිපති කාර්ය සාධක බලකායන් ආරම්භ කර රාජ්‍ය සේවයේ දුර්වලතා, ගැටළු හා විශමතාවන් විසඳීමට කටයුතු කරනවා. එසේම ආරක්ෂක ක්ෂේත්‍රයේ සියලු දෙනාගේම වැටුප් විශමතාවන් සහ උසස්වීම් ගැටලු විසඳීමට කඩිනමින් කටයුතු කරනවා” යනුවෙන්ද පැවසීය

මහනුවර, මැණික්හින්න, හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල විහාරයට ගිය එතුමා රාමාඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහා නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.              

අනතුරුව කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා විහාරාධිපති යටිනුවර සුමනසිරි හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. යටිනුවර සුමනසිරි හිමිපාණන්වහන්සේ විසින් එහිදී විශේෂ අනුශාසනාවක්ද සිදු කළහ.

පේරාදෙණිය, දංගොල්ල ශ්‍රී විමලධර්ම පිරිවෙන් විහාරස්ථානයට පැමිණි ඒ මහතා පූජ්‍ය එගොඩමුල්ලේ ඥානසිරි නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

t

o

p