සජිත් ගංගාරාමයේ ආගමික වතාවත්වල

October 8, 2019

රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්හ.

විහාරස්ථානය වෙත පැමිණි සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පළමුව බුදුන් වැඳ විහාරස්ථාන භූමියේ පිහිටි බෝධීන් වහන්සේට වතාවත් ඉටු කළහ. ඉන් අනතුරුව ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ප්‍රමුඛ පිරිසට සෙත් පිරිත් සජ්ජායනය කරන ලදී.

සෙත් පිරිත් සජ්ජායනයෙන් අනතුරුව අනුශාසනාවක් කරමින් කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ, මේ රටේ ජනතාවගේ හද ගැස්ම හොඳින් හඳුනන දේශපානඥයකු ලෙස සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා හැඳින්විය හැකි බවයි. සජිත් ප්‍රේමදාස මහතා‍ගේ පියාණන් වූ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාද ගංගාරාම විහාරස්ථානයට නිරන්තරයෙන් පැමිණෙමින් තම ඉදිරි කටයුතු සඳහා ආශිර්වාදය ලබා ගත් බව උන් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ. ගංගාරාම විහාරාධිපති ගලබොඩ ශ්‍රී ඥාණීස්සර නාහිමියන් සමඟ ගම නගාසිටුවීමේ වැඩසටහන් ආරම්භ කළ ආර්. ප්‍රේමදාස මහතා ගංගාරාම විහාරස්ථානය මූලික කර ගනිමින් දරුවන්ගේ සුබසිද්ධියට වැඩසටහන් ආරම්භ කළ බවද කීහ.

ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ පුත් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මේ වන විට දේශපාලනයට පිවිස අභියෝගාත්මක ගමනක් යමින් සිටින බවද ප්‍රකාශ කළ අස්සජි හිමියෝ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ඉදිරි කටයුතු සාර්ථක වී රටට උදාර සේවාවක් කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කළහ.

අනතුරුව මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කළ ඇමැති සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ඇතුළු පිරිස ගංගාරාම විහාරස්ථානයේ පිහිටි ධාතු මන්දිරය වැඳ පුදා ගත්හ. එම ස්ථානයේදී කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ විසින් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ හිස මත කරඩුව තබා ආශිර්වාද කර ඇමැතිවරයා ඇතුළු පිරිසට පිරිත් නූල් බදින ලදී.

t

o

p