අපේ රටට “වගේ වගක් නැති” ලෝක සත්ව දිනය

October 4, 2019

අද (ඔක් 4) ලෝක සත්ව දිනයයි. ලොව දියුණු රටවල ජනතා ව්‍යාපාරයක් වශයෙන් ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වන ලෝක සත්ව දින සැමරුම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජන සමාජයට තවමත් ‘වගේ වගක් නොමැති වීම’ සංවේගය මුසු පුදුමයකි. ගෘහස්ථ සහ වන සතුන්ට සිදුවන සාහසික අපරාධ හමුවේ මෙම ලෝක සත්ව දින සැමරුම ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ක්‍රියාවට නොනැගීම අතිශය ඛේදවාචකයකි.

මෙම මිහිතලය මිනිසුන් ගේත් සතුන් ගේත් පොදු උරුමයක් මිස මිනිසුන් ගේ තනි උරුමයක් නොවේය යන ස්වාභාවික යුක්ති ධර්මය මත පදනම් වූ සත්ව අවිහිංසාව සත්ව හිමිකම් හා සුබසාධනය පිළිබඳ මූලික සංකල්පය ලොවට ඉදිරිපත් වන ලද්දේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ ලොවට බිහිවූ බුදු දහමින් සහ ජෛන දහමිනි. පසුව ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී මිහිදු හිමියන් විසින් බුදු දහම ඔස්සේ එය ශ්‍රී ලංකාවට හදුන්වා දෙන ලදී. නමුදු ජාත්‍යන්තර වශයෙන් මෙම සංකල්පය ප්‍රචලිත වන ලද්දේ දොලහ සහ දහතුන් වන සියවස් වල ඉතාලියේ ජීවත් වූ කිතුණු පූජක තුමෙකු ගේ ඉදිරිපත් වීමෙනි.

ක්‍රි.ව 1182-1226 කාලයේ ඉතාලියේ අසිසි නුවර ජීවත් වූ එතුමන් මරණයෙන් පසුව ශාන්ත ෆ්‍රැන්සිස් යන නමින් සාන්තු වරයට පත්ව තිබේ. පසුව ක්‍රි.ව 1887-1942 අතර ජර්මනියේ විසූ ගත් කතුවර හෙන්රික් සිමර්මන් විසින් ආගමි, ජාති, සංස්කෘතික, දේශපාලන භේදයකින් තොර සැමරීමක් ලෙස යාවත්කාලීන කරන ලද මෙම ලෝක සත්ව දිනය අද වන විට ලෝකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන සැමරුම් අතරින් මුල් තැනකට පත්ව තිබේ.

එවන් පසුබිමක් යටතේ මරණයට කැප වූ මුවකුට අභයදානය දෙමින් මිහිඳු මා හිමියන් විසින් මෙරටට හදුන්වා දුන් බුදු දහම ස්ථාපිත වී ඇතැයි පැවසෙන අප රටේ ලෝක සත්ව දින සංකල්පය අද වන විටත් තිඹිරිගෙයින් පිටතට ගැනීමට නොහැකි වීම ජාතික ඛේදවාචකයකි. මේ පිළිබදව අහිංසා ශ්‍රී ලංකා සත්ත්ව හිමිකම් සහ සුභසාදන ප්‍රජා ක්‍රියාකාරී එකමුතුව අවධාරණය කරනුයේ ලබන වසරේවත් ඒ සදහා ප්‍රබල සමාජමය පෙළ ගැස්මකට ඇරයුම් කරමිනි. එය මෙරට ගෘහස්ථ සහ වන සතුනට සිදුවන සාහසික අපරාධ වැලැක් වීමටත් ඔවුන් ගේ හිමිකම් සහ සුබසාධන කටයුතු ප්‍රවර්ධනයටත් ඒකාන්තයෙන්ම හේතු වනු ඇත.

තිලක් සේනාසිංහ

t

o

p