කලින් කලට ලොව විවිධ ප්‍රදේශවලින් ස්වභාවික විපත් පිළිබඳව පුවත් ජනමාධ්‍ය හරහා අපට අසන්නට දකින්නට ලැබෙන බව දනිමු. ඒ අතරින් සුළිසුළං ආපදා වල විශේෂත්වයක් ඇතිබව අවබෝධ කරගෙන ඇතැයි සිතමි. දියුණු තාක්ෂණික පහසුකම්වල පිහිටෙන් අද ලෝකයේ කොහේ හෝ සුළිසුළඟක් වර්ධනය වී ඇත්නම් එය යම්කිසි රාජ්‍යයන්වලට මහා ආපදා ගෙන ඒමට හේතුවේනම් ඒ පිළිබව පෙර සිටම අපිට අසන්නට ලැබේ.
ශ්‍රී ලංකාවේ ස්වභාවික ආපදා වලට හේතු සාධකවන කාලගුණ සාධක සහ පද්ධති අතරින් සංවහන වැසි, ටෝනේඩෝ, අකුණු සහ සුළි සුළං ප්‍රධාන වන අතර ඒ ආපදා පිළිබඳ අනාවැකි සැලකිමේදී සුළිසුළං ආපදා පිළිබඳ අනාවරණ සහ අනතුරු ඇගවීම් වල විශේෂත්වයක් දක්නට ලැබෙන්නේ සුළිසුළං ආපදා නිවේදන කල්වේලා ඇතිව ජනමාධ්‍ය අපවෙතට ලබාදෙන හේතුවෙන්ය. විශේෂයෙන්ම චන්ද්‍රිකා තාක්ෂණයේ ලබාඇති මනා දියුණුව නිසා පෘථිවිතලයේ ඕනෑම ස්ථානයක වැඩෙන සුළිසුළඟක වර්ධන අවස්ථා, එහි කාලගුණික සාධක මෙන්ම එය ගමන්කරන මඟ පිළිබඳ දත්ත නිරීක්ෂණය අද ඉතාම පහසු දෙයකි. ඒ ලබාගන්නා දත්ත විශ්ලේෂණයද පරිගණකය හරහා ඉතා නිවැරදිව සහ ක්ෂණිකව කිරීමේ පහසුව අද අප සතුය.
චන්ද්‍රකා හරහා ලබාගන්නා ලද දත්ත විශ්ලේෂණය කිරීමෙන්, ලොව කොහේ හෝ වර්ධනය වන සුළි සුළඟක ගමන්මග පිළිබඳව ලැබෙන පණිවිඩ තුලින් සුළිසුළං ආපදා වලට මුහුණ දීමට සිදුවන ප්‍රදේශ පිළිබඳ ආරංචි කල්වේලා ඇතිව ජනමාධ්‍ය හරහා ලොවට ප්‍රචාරය වේ. එමඟින් සිදුවිය හැකි ආපදා අවම කිරීමට පහසු වන්නේ සියලු දෙනාම ඒඅනාවැකි පිළිබඳ අවධානය යොමු කළහොත් පමණි.
පසුගිය අගෝස්තු මස අවසන් සතියේ අමෙරිකාවේ සමහර ප්‍රාන්ත වලට මෙන්ම බහමාස් දූපත්වලට “ ඩෝරියන් ” (Dorian), සුළිසුළඟ සිදුකල මහ ආපදා පිළිබඳව මෙන්ම සැප්තැම්බර් ප්‍රථම සතියේ අවසන්දිනවල සහ දෙවන සතියේ මුල් දිනවලදී ෆැසියා (Fazia) සුළිසුළඟ ජපානයට සිදුකළ ආපදා පිළිබඳව ඉඟි එම සිද්ධි වලට දින ගණනාවකට පෙරාතුව ලොව පුරාම ජනතාව වෙත ළඟා වූවා ඔබලාගේ මතකයේ ඇත. කල්වේලා ඇතිව සුළිසුළං ආපදා පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත්වූවද ආපදා කළමණාකරයේදී අපි මුහුණ දෙන විවිධ ගැටළු රැසක් හමුවේ ජීවිත සහ දේපල හානි සැළකිය යුතු ලෙස සිදුවන බව යථාර්ථයයි.
ලෝක ගෝලයේ සාගර ප්‍රදේශයෙන් වැඩි කොටසක් වසා සිටින අත්ලාන්තික්, පැසිෆික් සහ ඉන්දියන් යන සාගර තුනෙහිම සුළි සුළං වර්ධනය වන නමුදු අප දිවයිනට ඍජු ලෙස බලපෑම් ඇතිකරන්නේ ඉන්දියන් සාගරයේ
වර්ධනය වන සුළිසුළං මඟින්ය. සුළිසුළඟක් වර්ධනය වීමට අවශ්‍යතා කිහිපයක්ම පරිපූර්ණ වියයුතු නිසා සෑම සාගරයකම වසරේ සෑම කාලවලම සුළිසුළං වර්ධනය වන්නේ නැත.
ශ්‍රී ලංකාව අවට බෙංගාල බොක්ක (Bay of Bengal) මුහුදු ප්‍රදේශයේ වැඩි වශයෙන් සුළිසුළං වර්ධනය වන දෙවන අන්තර් මෝසම් සමය අත ළඟය. අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ ක්‍රියාකාරීත්වය අනුව මෙම අන්තර් මෝසම් සමය ඔක්තෝම්බර් සිට දෙසැම්බර් මැද භාගය දක්වා බලපානු ඇත. එසේනම් සුළිසුළං ගැන මෙන්ම දිවයිනේ නොයෙක් පළාත් වලට බලපෑ හැකි ගංවතුර අපාදා, අකුණු සහ ධාරානිපාත වැසි නිසා ඇති විය හැකි ජීවිත සහ දේපල හානිය මෙන්ම විශේෂයෙන්ම නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල ඇතිවිය හැකි වාසුළි උත්සර්ජන පිළිබඳවත් අවබෝධයෙන් සිටිය යුතු කාලය එලැඹී ඇත. සාමූහික සහ සංවිධානාත්මක ලෙස අනතුරු නිවාරණ හෙවත් ආපදා කළමණාකරණ ක්‍රම දියත් කිරීමට මෙන්ම ස්වෝත්සාහයෙන් අනතුරු නිවාරණය කිරීමට එය මඟ පෙන්වීමක් වනු නොඅනුමානය.
වරින් වර ශ්‍රී ලංකාවට සුළිසුළං වලින් සිදු වන හානි වසර ගණනාවක් යනතෙක් අමතක නොවන තරමට බරපතලය. 1978 නොවැම්බර් සුළිසුළඟ සහ 2000 දෙසැම්බර් සුළිසුළඟ මීට ඉතා හොඳ නිදසුන්ය.
සුළිසුළඟක් සිය ජීවිතය ආරම්භ කරන්නේ අව පීඩන ප්‍රදේශයක් (Lom pressure area)ලෙසින්ය. එම පද්ධතියට තවතවත් ශක්තිය ලැබුනහොත් පීඩන අවපාතයක් (Depresion) ලෙසටද ඊළගට සුළිසුළඟක් (Cyclone) බවටද වැඩේ. සුළිසුළඟක් වර්ධනය වීම ලෝක ගෝලයේ සාගර කිහිපයකටපමණක් සීමා වීමට හේතුව වන්නේ එවැන්නක් ආරම්භ වීම සඳහා පරිපූර්ණ විය යුතු අවශ්‍යතා කිහිපයක් තිබෙන නිසාය.
උත්තර අර්ධ ගෝලයේ වැඩෙන සුළිසුළඟක් එය පිහිටි ස්ථානයේ සිට බටහිර හෝ වයඹ දෙසට ගමන් කරන නිසා බෙංගාල බොක්කේ වර්ධනය වන සුළිසුළං වලින් අප දිවයිනට සෘජු හෝ වක්‍ර ලෙස ඇති වන බලපෑම් සැළකිය යුතු තරම්ය. හොඳින් වැඩෙන සුළිසුළඟක් ප්‍රමාණයෙන් කි.මී. 1000 ක පමණ විශ්කම්භයකින් යුතු විය හැකි වූවද එවැන්නක බලපෑම ඊට වඩා වැඩි දුර ප්‍රමාණ දක්වා විහිදී යයි. වළාකුලින් පිරි අහසක් සහිතව නිරතුරුව පවතින දැඩි සුළං සහ අකුණු සහිත වැසි වස්සවනසුළිසුළඟක් වටා හමන සුළං ප්‍රවාහ පැයට කිලෝ මීටර් 150 තරම් වේගවත් විය හැකිය.
සුළිසුළඟක බලපෑම යටතේ සුළඟින්, වර්ෂාවෙන් සහ අකුණු පහරෙන් සිදුවන උපද්‍රව වලට අමතරව වාසුළි උත්සර්ජන (Storm Surge) මඟින්, විශේෂයෙන්ම මුහුදුබඩ ප්‍රදේශ වල, සිදුවන දේපල හානිය මහත්ය. බොහෝ විට වාසුළි උත්සර්ජන හෙවත් මුහුදු ගොඩ ගැලීම මඟින් මිනිස් සහ සත්ත්ව ජීවිත වලට ද විශාල ලෙස තර්ජන එල්ල වේ. සිය අක්ෂය වටා කැරකෙවෙමින් තැනිත් තැනට ගමන් කරන බමරයකට සමාන අයුරින් හැසිරෙන සුළිසුළං පද්ධතියක බලපෑමට හසුවන ජලාශයේ රැලි (හෝ තරංග) සුළිසුළං තිව්රතාවය වැඩිවීමත් සමඟම ප්‍රමාණයෙන් සහ විශාලත්වයෙන් වැඩි වේ. අප දිවයිනට සැතපුම් 500ක් තරම් දුරකින් එවැන්නක් ක්‍රියා කරන විට දී පවා මුහුදු යාම අනතුරු දායක බවට ධීවරයන්ට නිවේදන නිකුත් කරනු ලබන්නේ මේ නිසාය.
සුළිසුළඟක මධ්‍යස්ථානය වන ඇසේ (Eye) සිට සැතපුම් දහස් ගණනක් ඈතට යනතුරුම හමන සුළඟේ වේගය ඉතා දැඩිය. එම සුළඟ ගහ කොල සහ ගොඩනැගිලි වලට විශාල තර්ජනයක් වනවා මෙන්ම මුහුදේ මතුපිට ජල ස්ථර මත විශාල බලපෑමක් ඇති කරයි. එවන් බලපෑමක් ඇති බොහෝ අවස්ථා වල මීටර් 5 – 6 ක් පමණ උස් වූ මුහුදු රැලි (වාසුළි උත්සර්ජන, Storm Surge) ඇති වේ. එවන් උස රළ පහරක් වෙරළේ පිහිටි උස මීටර් 6කට වඩා අඩු වූ ගොඩනැගිලි වලට ඉහළින් ගලා යන බව පැහැදිලිය. තව ද, එවැන්නක බලපෑම ගොඩබිම විශාල ප්‍රදේශයක් සාගර ජලයෙන් යට කිරීමට තුඩු දේ.
සුළිසුළං වල සෘජු බලපෑම් වලට වැඩිවශයෙන්ම මුහුණ දීමට සිදුවන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහි වෙරළබඩ පළාත් වල ජීවත්වන ජනතාවටයි. මීට හේතුව, බෙංගාලබොක්කේ වර්ධනය වන සුළිසුළං අප දිවයිනට තර්ජනයක් වන අතර දැඩි සුළං සහ වාසුළි උත්සර්ජන වල අහිතකර බලපෑම් සෘජුවම එල්ල වන්නේ නැගෙනහිර වෙරළබඩ කොටස් වලට වීමය. එසේ වූවත් අනෙකුත් වෙරළබඩ කොටස් වලට එවන් බලපෑම් නැතුවාම නොවේ. සුළිසුළං ඉතා චණ්ඩවන අවස්ථා වල දී මුහුදු රළෙහි උද්දීපනය සහ සුළිසුළං වල ප්‍රචණ්ඩත්වයේ විපාක දිවයින වටා ඕනෑම වෙරළබඩ ප්‍රදේශයකට බලපායි.
දිවයිනේ පහත්බිම් වල ගංවතුර ආපදාද කඳුකර පළාත් වල නායයෑම්, පස්කඳු කඩාහැලීම් ගස් කඩා වැටීම යනාදියෙන් සිදු වන ආපදාද සුළිසුළං සමයේ සිදුවීම ස්වභාවිකය. එහෙයින් සුළිසුළං පිළිබඳ හොඩුවා ලද විට එවන් අනතුරු වලක්වා ගත හැකි නිසි ආරක්ෂක පියවර දියත් කිරීමට අදාළ ආයතන මෙන්ම අපි සැවොම උනන්දු විය යුතුය.
සුළිසුළං අනාවැකි ජනතාව වෙත ළඟාවන අතරේ දී ජනමාධ්‍ය බොහෝමයක් මඟින් සිදුවන වරදක් ගැනද අවබෝධය ලබාගත යුතුය. සුළිසුළඟක සුළං පැයට කිලෝමීටර 150ක් 200ක් තරම් වේගවත් වූවද පද්ධතිය තිරස් දිශාවට ගමන් කරන්නේ පැයට කිලෝ මීටර 5ක 10ක පමණ වේගයකින්ය. සමහර ජනමාධ්‍ය පුවත් ප්‍රකාශනවල සුළිසුළඟක් දිවයින වෙත ළඟාවන වේගය සඳසා සුළං වල වේගය වරදවා සඳහන් කරන බව අවබෝධ කරගනිමු. අනාවැකිවල සඳහන් වන වේගය සුළිසුළඟේ මධ්‍යස්ථය වටා හමන ප්‍රචණ්ඩ සුළං ප්‍රවාහවල වේගය බව අපි අවබෝධ කර ගනිමු.
ආපදා අවස්ථා වලට මුහුණ දීමට සිදුවන අය ආරක්ෂක පියවර ගැනීමට සූදානම් වීමේදී ආපදා සහනකට්ටලය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව පෙර විදුසර ලිපියකින් ඔබලා දැනුවත් වී ඇත. එම කට්ටලයේ එක් අංගයක් වන්නේ බැටරි මඟින් ක්‍රියා කරන ගුවන්විදුලි යන්ත්‍රයයි. අද භාවිතයේ තිබෙන ජංගම දුරකථන සැමකම පාහේ ගුවන්විදුලි නාලිකා වලට සවන්දීමේ පහසුකම් සහිතය. අපදාකාරී කාලගුණ තත්ත්ව පවතින අවස්ථා බොහෝමයක විදුලි බලය ඇනහිටීම සාමන්‍ය තත්ත්වයක් බව ඔබ දන්නා කරුණකි.
මේ නිසා කාලගුණවිද්‍යා සහ ආපදා කලමණාකරණ අංශ ඇතුළු ආයතන කිහිපයක් මඟින් ව්‍යසන අවස්ථාවේදී ජනතාව වෙත යොමුකරන අනාවැකි, නිවේදන සහ අනතුරු ඇඟවීමේ ග්‍රහණය කිරීම උදෙසා බැටරි මඟින් ක්‍රියාකරන ගුවන්විදුලි යන්ත්‍රයක හෝ ජංගම දුරකථන සමඟ සපයන ගුවන්විදුලි යන්ත්‍රයක භාවිතය සුළිසුළං ආපදා අවස්ථාවල දී අත්‍යාවශ්‍ය බව පැහැදිලිය.
(කේ.ආර්. අබේසිංහ,බාහිර කථිකාචාර්ය, විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය)