එජාපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත්

September 25, 2019

එක්සත්  ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ  අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද [26 ] නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙයි.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ  මූලස්ථානයට රැස්වන  එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ජනාධිපති  අපේක්ෂකයා  ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කරන්නේ පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ අපේක්‍ෂක ලෙස නම් කිරීම කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඒකමතික තීරණයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව වී පවතී.

වර්ෂ 2019 ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයේදී රැස්වේ.

එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවේ 9.01 වගන්තියට අනුව අපේක්‍ෂක නම් කිරීම සිදු කලද ඒකමතික තීරණයක් ලෙස එය ප්‍රකාශයට පත් වන්නේ නම් නාමයෝජනා මණ්ඩලය නම් කිරීම අවශ්‍ය නොකෙරේ.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපෙස්ක්ෂක ලෙස නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට පුර්ණ සහය දීමට එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයෝ තීරණය කර සිටිති.

ඉහත තීරණයට එළඹ සිටින්නේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් ,සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ ගනේෂන් ,ජාතික හෙළ උරුමයේ මහා ලේකම් පාඨලී චම්පික රණවක , ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රාජිත සේනාරත්න සහ පලනි තිගාම්බරන් මහත්වරුය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශ කළ පසු එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් හය දෙනාම අද දිනයේදීම හමු වීමට නියමිතය.

ඉහත හමුවේදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයේ සහය දෙන බවට පක්‍ෂ නායකයන් නිළ වශයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දීමට නියමිතය.  

t

o

p