බුද්ධි අංශ ස්වාධින කළ යුතුයි

September 14, 2019

මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ, මඩකලපුව නගර ශාලාවේ පැවති ජාතික මග මඩකලපු සමුළුවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශ‍්‍රී ලංකා රජයට, දේශපාලන පක්ෂවලට, ආගමික නායකයින්ට මෙන්ම විශේෂයෙන්ම මුස්ලිම් සමාජයට වගකීමක් තිබෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි තත්වයන් වලක්වා ගන්න. විශේෂයෙන්ම අපේ බුද්ධි අංශ, ආරක්‍ෂක අංශ මෙන්ම ආරක්‍ෂක අංශ මෙහෙයවන ආණ්ඩුවට මේ ප‍්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තිබෙනවා. ආරක්ෂක අංශවල මෙන්ම දේශපාලන අංශවල බලගතු අඩුපාඩුවක් සිදු වී තිබෙන බව අපි පිළිගත යුතුයි. මෙම සිද්ධි පටන් ගත්තේ 2018 නොවැම්බර් වල  මඩකලපුවේ තින්නවේලිවල පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කරලා. එම වෙලාවේ එම ඝාතන සිදු කළේ එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකයෝ කියලා ආරක්‍ෂක අංශ සම්පූර්ණයෙන් නොමග ගියා. පසුව පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී මඩකලපුවේ සියෝන් පල්ලියටත් ප‍්‍රහාරයක් එල්ල උනා.

බෙහෝ දුරට මෙම ප‍්‍රහාරවලට සම්බන්ධ වූ අය මේ මඩකලපුව, කාත්තන්කුඩි, කල්කුඩා ආදී ප‍්‍රදේශවල අය වීමත් අපි සැලකිල්ලට ගත යුතුයි. ඒ නිසා මේ මඩකලපුවේ විශාල වශයෙන් දෙමළ ජනතාව වාසය කරනවා. මුස්ලිම් ජනතාව වාසය කරනවා. ඉතාම පොඩි ප‍්‍රමාණයක් සිංහල ජනතාව වාසය කරනවා. බර්ගර් ජනතාව විශාල පවුල් ප‍්‍රමාණයක් සිටින සුවිශේෂී පළාතක්. ඒ නිසා මේ ප‍්‍රශ්නය ඇති වූ මඩකලපුව ප‍්‍රදේශයෙන්ම මේ ප‍්‍රශ්නය විසඳාගන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම අපි මඩකලපු ජනතාවට ස්තුතිවන්ත විය යුතුයි විශාල කිතුණු ජනතාවක් මිය ගොස් තිබියදීත් කිසිම ආගමික ගැටුමක් ඇති කර නොගැනීම පිළිබඳව.

මෙම ප‍්‍රශ්නය ඉදිරියට නොයන්න නම් අපි සඳහන් කර ඇති පරිදි මේ රටේ හැමෝම ආගම්වලට අයිති අය. අපි හැමෝම මානුෂික නීතියට යටත් විය යුතුයි. ආගමක, භාෂාවක, කුලයක, නාමයෙන් කිසිම කෙනෙක්ව හිරිහැරයට හිංසනයට පත් කිරීමට මනුෂ්‍යයෝ හැටියට අපි කාටවත් අයිතියක් නැතිබව අපි පිළිගත යුතුයි.

අපි මේ රට අපේ මව්බිම කියලා හිතනවා නම් අපි සියලූ දෙනාම ශ‍්‍රී ලංකාවේ පොදු නීතියට යටත් විය යුතුයි. මම ස්තූතිවන්ත වෙනවා අපේ සියලූම දේශපාලන, ආගමික නායකයින්ට අද පොදු විවාහ නීතියක් යනවා. පොදුවේ වෛරී කතා පැතිරවීම පිළිබඳව වගේම පොදුවේ අපරාධ නීතිය යටතට පුද්ගලයින් ගැනීම පිළිබඳව අද ලොකු එක`ගතාවයක් පාර්ලිමේන්තුවෙත් අපේ සමාජයේත් ඇති වී තිබෙනවා.

ඒ වගේම අපේ ආරක්‍ෂක අංශ මේ ජිහාද් වර්ගයේ අලූත් ත‍්‍රස්තවාදය ජනතා විමුක්ති පෙරමුණ කොටි සංවිධානය වගේ ඒවා සමග සංසන්දනය කරන්න බැහැ. ඒ සඳහා අපට විශේෂයෙන්ම අලූත් තාක්ෂණය ඒ වගේම අපේ ආරක්ෂක අංශවලට අලූත් දැනුම, අලූත් බුද්ධි අංශ අපට අවශ්‍ය කර තිබෙනවා. ඒ වගේම මේ ත‍්‍රස්තවාදය විදේශීය සම්බන්ධතාත් සමග විශේෂයෙන්ම දකුණු ඉන්දියාවත් සමග සම්බන්ධතා පවත්වන බවත් මතක තබා ගත යුතුයි.

ඒ වගේම අපේ බුද්ධි අංශ දේශපාලන ඉලක්කවලින්, බලපෑම්වලින් මුදවා ගත යුතුයි. කොටි සංවිධානය සමග යුධ කරන කාලයේ ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අංශයේ සිටියා වගේ දෙගුණයක බුද්ධි අංශයක් යුද්ධෙන් පසුව ඇති වුණා. ඇතැම් බුද්ධි අංශවලට, ඇතැම් අන්තවාදී සංවිධානවලට 2012-13  කාලයේදී මුදල් ආධාර වාහන සහ අනෙකුත් දේවල් හැම ආකාරයකම ලැබුණු බව දැන් ඔප්පු වී තිබෙනවා.

කාදිනල් වහන්සේ ඉල්ලා තිබුණා කතෝලික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හමුවූ අවස්ථාවේදී විශේෂ කොමිසමක් පත්කරන්න කියලා. දැන් එවැනි කොමිසම් දෙකක් තිබෙනවා. එකක් ජනාධිපතිතුමා පත් කළ එක. අනෙක පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. වහාම එම වාර්තා දෙක ප‍්‍රසිද්ධ කරන්න කියලා අපි ඉල්ලා සිටියයුතුයි. ඒ වගේම 2012,13,14 කාලවල සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වලට ආරක්‍ෂක අංශවලින් ආධාර උපකාර ලැබුණද, කොයි විදිහට ද ඒවා ලැබුනේ කියලා විශේෂ පරීක්ෂණයක් සිදු කළ යුතුයි.

සමහර වෙලාවට සතුරාගේ සතුරා අපගේ මිතුරාය කියලා දේශපාලනඥයෝ කල්පනා කරනවා. සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානයට ගියහම ඇමරිකා එක්සත් ජනපදය ඔසමා බිල්ලාඩන්ට උදව් කළා අල්කයිඩාව හදන්න. එයින් අදහස් කළේ සතුරාගේ සතුරා අපගේ මිතුරා කියලා ඇමරිකා දේශපාලනඥයෝ අදහස් කළා. ඒ වගේම ඇතැම් අයට අවශ්‍යතාවයක් තිබුණා නම් මුස්ලිම් මධ්‍යස්ථ පිරිස් යටපත් කරන්න මේ තවාහීද් ජමාද් ව්‍යාපාරය වගේ අන්තවාදී ව්‍යාපාර ශක්තිත් කරන්න ඒ මගින් මේ සතුරාගේ සතුරා අපගේ මිතුරාද කියල කටයුතු කළාද කියන එක ගැන මෙවැනි කොමිසමක් විසින් වහාම විමසිය යුතුයි.

ඒ වගේම මේ එන්.ටී.ජේ ව්‍යාපාරය ගැන විශාල අනතුරු හැ`ගවීම් ප‍්‍රමාණයක් තිබියදීත් ඇයි කි‍්‍රයාත්මක නොවුනේ කියන එක ගැන විශේෂ වාර්තාවක් රටට ප‍්‍රකාශ කළ යුතුයි. අද ඒ ත‍්‍රස්තවාදයට සම්බන්ධ බොහෝ දෙනෙක් විනාශ වී හෝ අත්අඩංගුවට පත්ව තිබුණත් ප‍්‍රශ්න අනාගතයේ මතු නොවෙන්න නම් රටේ බුද්ධි අංශ ජාති – ආගම්, කුල බේදයෙන් තොරව රාජ්‍ය ආරක්‍ෂාව සඳහාම කැපවූ ස්වාධින ආයතනයක් බවට පත් විය යුතුයි. ඒ වගේම මේ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ජනතාවට ජාති” ආගම්” කුල පක්ෂ බේදයෙන් තොරව ලැබිය යුතුයි යුතුයි’යැයි පැවසීය.

t

o

p