ත්‍රස්තවාදී තර්ජනයට මුහුණදීමට ශක්තිමත් නීති රාමුවක් අවශ්‍යයි

September 5, 2019

ලෝක ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූල වන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ගරු කරන ශක්තිමත් දේශීය ප්‍රතිත්‍රස්ත නීතිමය රාමුවක් සහ යාන්ත්‍රණයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව්වැනි ඉන්දීය සාගර සමුළුවේ ආරම්භක සැසියේ මුඛ්‍ය දේශනය පවත්වමින් මාලදිවයිනේ දී දින පැවසීය.

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මැඩලීම සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සමීප සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමේ තීරණයකට එළැඹි බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එම සහයෝගීතාවයට ඉන්දීය සාගර කලාපයේ අනෙකුත් මිත්‍ර රටවල් ද එක් කර ගැනීම දෙරටේම බලාපොරොත්තුව බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මාලදිවයිනේ “පැරඩයිස් අයිලන්ඩ්හි” ආරම්භ වූ සිව්වැනි ඉන්දීය සාගර සමුළුවේදී මුඛ්‍ය දේශනය පවත්වමිනි.

මෙවර ඉන්දීය සාගර සමුළුවේ සභාපතිත්වය හොබවනු ලැබූයේ ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ එස්. රාජරත්නම් විද්‍යාලයේ සහාය ඇතිව, ඉන්දීය පදනම් ආයතනය විසින් සංවිධානය කරන මෙම සමුළුව සැප්තැම්බර් 03 සහ 04 දෙදින පැවැත්වේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවේ මුඛ්‍ය දේශනය අරඹමින් ඉන්දීය හිටපු විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මියගේ අභාවය පිළිබඳව සිය බලවත් ශෝකය පළකරනු ලැබීය.

අනතුරුව සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අද වන විට අයි.එස්.අයි.එස්. සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් ආරක්‍ෂා වීම ඉන්දියන් සාගර කලාපයේ රටවල් මුහුණදෙන ප්‍රමුඛ පෙළේ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සහ මෑත කාලීනව අනෙකුත් රටවල සිදුවූ සෙසු ත්‍රස්ත ප්‍රහාරයන් පිළිබඳව සලකා බලන විට ප්‍රචණ්ඩ ත්‍රස්තවාදී කල්ලි විසින් එල්ල කරන තර්ජන පිළිබඳව අප නිරන්තර අවධානයෙන් පසුවිය යුතුයි.

ත්‍රස්තවාදීන් විසින් ආගමික අන්තවාදය සඳහා මුදල් යෙදවීම මෙන්ම, තරුණ පිරිස් රැඩිකල් අදහස්වලට නතුකර ගැනීම වත්මන් සමාජය මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් බව කිව යුතුයි. 

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය මගින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයේ උපායමාර්ගික වෙනස්කම් හඳුනාගත හැකියි. මේ වන විට එම සංවිධානය දකුණු ආසියාව සහ ඇතැම් බටහිර රටවල් දෙසට ඔවුන්ගේ අවධානය යොමු කර තිබෙන බව මෙම ප්‍රහාරයත් සමග තවදුරටත් සනාථ වෙනවා. 2016 වසරේ බංග්ලාදේශයේ, 2017 වසරේ දී ඊජිප්තුවේ සහ 2018 වසරේ දී ඉන්දුනීසියාවේ සිදුවූ බෝම්බ ප්‍රහාර මිට නිදසුන් ලෙස දැක්විය හැකියි. ඒ අනුව, ඔවුන් ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාදැයි පැහැදිලියි.

උදාහරණයක් ලෙස ඔවුනට ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය නම් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඔවුන්ගේ කණ්ඩායමට බඳවා ගෙන ඔවුන් ලවා ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරවීම එක් උපක්‍රමයක් වී තිබෙනවා. පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූයේ ද එවැනි සිද්ධියක් බව පැහැදිලියි. මෙය “ෆ්‍රෙන්චයිස් මාදිලියේ” ත්‍රස්තවාදයක් ලෙස හැදින්විය හැකියි.

මෙහිදී සිදු වන්නේ ආගමික අන්තවාදී අදහස් ඇති පිරිස් විසින් අයි.එස්.අයි.එස්. සංවිධානය වෙත පක්ෂපාතීත්වය ප්‍රකාශ කරමින් ප්‍රහාර එල්ල කිරීමයි. මෙය ආසියානු කලාපයට පමණක් නොව, මුළුමහත් ලෝකයටම අලූත් අභියෝගයක් බව කිව යුතුයි.

මෙම තර්ජනයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූල වන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ගරු කරන ශක්තිමත් දේශීය ප්‍රතිත්‍රස්ත නීතිමය රාමුවක් සහ යාන්ත්‍රණයක් අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ විශ්වාසයයි. ඒ සමගම නූතන ත්‍රස්තවාදයේ පවතින නව ප්‍රවණතාවලට මුහුණදීම සඳහා ශක්තිමත් කලාපීය යාන්ත්‍රණයක් ද අවශ්‍ය වෙනවා.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහියම් මොහොමඩ් සෝලි මහතා සමග මා පැවැත්වූ සාකච්ඡාවලදී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මැඩලීමට අප දෙරට අතර සමීප සහයෝගීතාවයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යුහයන් ගොඩනගා ගැනීමට තීරණය කරනු ලැබුවා. එම සහයෝගීතාවයට ඉන්දීය සාගර කලාපයේ අනෙකුත් මිත්‍ර රටවල් ද එක් කර ගැනීම අප දෙරටේම බලාපොරොත්තුවයි.”

මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා මෙසේ පැවසීය.

“ඉන්දියන් සාගර කලාපයේ සාමය ආරක්‍ෂා කිරීම පිළිබඳව අප මූලික අවධානයක් යොමු කළ යුතුයි. වර්තමානය වන විට ඉන්දියන් සාගර කලාපයට තිබෙන ත්‍රස්තවාදී තර්ජනයට අමතරව මත්කුඩු ජාවාරම, මුහුදු කොල්ලකෑම් වැනි ක්‍රියාකාරකම් ගැන ද අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

අපගේ අසල්වැසි මිත්‍ර රටක් වන ශ්‍රී ලංකාවට එල්ල වූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරය මාලදිවයින් රජය දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකින බව මෙහිදී සඳහන් කළ යුතුයි. ත්‍රස්තවාදී තර්ජනයට මෙන්ම අනෙකුත් තර්ජනවලට සාර්ථකව මුහුණදීම සඳහා කලාපයේ රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම ඉතා වැදගත් කාරණයක් බව අපගේ හැඟීමයි.

මෙම ත්‍රස්තවාදයට රුකුල් දෙන සියලූ අන්තවාදී ක්‍රියාකාරකම් මෙන්ම තරුණයන් අන්තවාදී අදහස්වලට පොළඹවා ගන්නා කණ්ඩායම් හා ව්‍යාපාර නතර කිරීම සඳහා අප වඩ වඩාත් විමසිලිමත්ව කටයුතු කළ යුතුයි.”

මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ සිංගප්පූරුවේ විදේශ කටයුතු ඇමැති විව්යන් බාලක්‍රිෂ්ණන් යන මහත්වරු ද ඉන්දීය සාගර සමුළුව ඇමතූහ.

මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, උසස් අධ්‍යාපන, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, සමාජ සවිබලගැන්වීමේ සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මේජර් ජනරාල් අශෝක තෝරදෙනිය, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුලූ පිරිසක් සහභාගි වූහ.

t

o

p