විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව හෙවත් මහජන මජ්ලිසය අමතමින් ප්‍රකාශ කළේය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම නිසා ජනාධිපති ධූරය වෙත පැවරී තිබූ අත්තනෝමතික බලතල අඩු කිරීමට හැකියාව ලැබුණු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එම සංශෝධනය අවශ්‍ය වූයේ මීට පෙර පැවැති ආණ්ඩු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීම නිසා බව ද පැවසීය.
19 වන සංශෝධනයෙන් පසුව විධායක ජනාධිපතිවරයා සතුව තිබූ බලතල සීමා වී කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව වෙත සමූහික වගකීම පැවරුණු බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණි අතර එහිදී මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් මහතා විසින් ඉතා උණුසුම් ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබීය.
අනතුරුව මාලදිවයින් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා කැඳවා ගෙන එනු ලැබූ අතර එරට පාර්ලිමේන්තුවේ කතානායක අසුනට සම මට්ටමේ අසුනක් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පනවා තිබුණි.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් පාර්ලිමේන්තු ආගමනය සිහිපත් කරමින් එරට කථානායකවරයා විසින් මාලදිවයින් පාර්ලිමේන්තු ඉතිහාසය ඇතුළත් සමරු ග්රන්ථයක් ද වික්‍රමසිංහ මහතා වෙත පිරිනමනු ලැබීය.
මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙරටේම විධායක බලතල පැවරී ඇත්තේ ජනාධිපතිවරයා වෙත වුව ද, ශ්‍රී ලංකා ආණ්ඩුවේ පාලනය සහ ආණ්ඩුවට මඟපෙන්වීම සඳහා බලතල ඇත්තේ ජනාධිපතිවරයා ද ඇතුළත් වන කැබිනට් මණ්ඩලයට බවයි.
පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට කැබිනට් මණ්ඩලය බැඳී සිටින බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා ගැනීමට වැඩි හැකියාවක් ඇති පුද්ගලයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතු වන බව ද පැවසීය.
ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී අග්‍රාමාත්‍ය ධූරයට පත් කරනු ලැබූ බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, එසේ වුවද මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 122 දෙනෙකු විරුද්ධ වූ බවත්, ඒ අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ මහතාට තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයෙහි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පැනවූ බව ද සිහිපත් කළේය.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය ලබා ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයා බව වැඩිදුරටත් තහවුරු වී යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට ස්තුතිය පළ කරමින් එරට කථානායක මොහොමඩ් නෂීඩ් මහතා ප්‍රකාශ කළේ දකුණු ආසියානු කලාපයේ වඩාත්ම ස්ථාවර ප්රජාතන්ත්රවාදයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බවයි. එසේම ශ්‍රී ලංකාව කිසි විටෙක ප්රජාතන්ත්රවාදී මාර්ගයෙන් සහ මහජන ඡන්දයෙන් මිස වෙන කිසිඳු අයුරකින් රටේ බලය හුවමාරු කර ගෙන නොමැති බව ද පැවසීය.
මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, උසස් අධ්‍යාපන, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, සමාජ සවිබලගැන්වීමේ සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මේජර් ජනරාල් අශෝක තෝරදෙනිය, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුලූ පිරිසක් සහභාගි වූහ.