හූනියම් මේනියාවේ මාෆියාව

September 2, 2019

නිවිති යනු අපේ රටේ මධ්‍ය කඳුකරයේ උස් බිම්වල හැරුණු කොට දිවයිනේ සෙසු සෑම ප්‍රදේශයකම පහසුවෙන් වගා කර ගත හැකි පෝෂණ ගුණයෙන් සපිරි කොළ එළවළුවකි. Spinacia Oleraceg යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන නිවිති කොළ පැහැති සහ රතු පැහැති වශයෙන් කොටස් දෙකකි.

උද්භිද විද්‍යාත්මක වශයෙන් හෝ පෝෂණ අගය අතින් කිසිදු වෙනසක් නොමැති මෙම නිවිතිවල රතු පැහැති නිවිති ශ්‍රී ලංකාවේ කෙසේවත් ජනප්‍රිය නොවන බව පේරාදෙණිය ගන්නොරුවේ උද්‍යාන භෝග පර් යේෂණ හා සංවර්ධන ආයතනයේ (HORDI) ආරංචි මාර්ග කියයි.ඊට හේතුව විමසා බලන විට පෙනී යන්නේ රතු පැහැති පත්‍ර සහිත නිවිති හුදෙක් කාන්තාවන් උදෙසා සිදු කෙරෙන ‘‘හූනියමක්’’ සඳහා යොදා ගැනෙන බැවින් එය ආහාරයට ගැනීම නුසුදුසු බවට මිථ්‍යා විශ්වාසයක් අප සමාජය පුරා පැතිර පවතින බවකි.

වැඩිවිය පත්වීමේ සිට අර්ථවහරණය (Menopause) තෙක් වන තරුණ සහ මැදිවියේ කාන්තාවන්ට පමණක් බලපැවැත්වෙන හූනියම සඳහා පාට තුනකින් යුතු නූල් පොටවල් කිහිපයකට කිසියම් මන්ත්‍රයක් ජීවම් කොට එය එම හූනියමට බඳුන් කරන කාන්තාවට ‘‘යටි පහු’’ කළ යුතු වෙයි. පසුව එම නූල් රතු නිවිති අත්තක බහා ඒ නිවිති අත්ත ගලා යන දොළ පහරක සඟවා තැබිය යුතුය. එවිට ඒ රතු නිවිති අත්ත එහි රැඳී තිබෙන තාක් කල් ඒ කාන්තාව ලේ මාලය සහ කිලි මාලය යන රෝගී තත්ත්වයන්ට බඳුන් වෙයි.

මෙහිදී ලේ මාලය යනුවෙන් හැඳින්වෙනුයේ කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී අධික රුධිර වහනයක් සිදුවීමේ රෝගී තත්ත්වය (Menorrhagia) වන අතර කිලි මාලය යනු අක්‍රමවත් මාස් ශුද්ධිය (Metrorrhagia) නම් වන රෝගී තත්ත්වයයි.මෙම අන්ධ විශ්වාසය නිසාම අපේ රටේ බොහෝ දෙනකු මෙම රතු නිවිති වගා කිරීමට, මිලදී ගැනීමට හෝ අනුභව කිරීමට මැළිවනුයේ ඒවා අනුභවයෙන් තම පවුල වන බවලතුන්ද එම රෝගී තත්ත්වයට බඳුන් වේය යන අහේතුක සැකය මතය.

එසේ වුවද මෙම රතු පැහැති නිවිති වර්ගය ආහාර පිණිස ගනු ලබන අපට ආසන්නතම ඉන්දියාව ඇතුළු රටවල කතුනට ඔය කියන ලේ මාලයක් හෝ කිලි මාලයක් ආදී මොනම මාලයක්වත් නැත්තේ මන්දැයි අප වෙනම විමසිය යුතුය. අනෙකක් තබා අප රටේ අසිංහල අබෞද්ධ කතුන්ටත් ඒවා අනුභවයෙන් ඔය කියන දෝෂ කිසිවක් හට නොගන්නා බව නිසැකය.එහෙත් මෙවන් මිථ්‍යා විශ්වාස තුළ මෙතෙක් බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවූ තවත් පැතිකඩක් තිබේ.

එනම් අදටත් මෙවන් රතු නිවිති පඳුරක්, දෙකක් තම ගෙවත්තේ වවා ගන්න අයකුට ඉන් අනෙක් නිවිති අක්කර දෙක තුනක් වගා කිරීමෙන් ලැබෙන ආදායම පහසුෙවන් හිමිකර ගත හැකිවීමය.දේශීය වෙදකමට අදාළ බෙහෙත් සඳහා අප සංස්කෘතියේ එන ශාන්තිකර්ම, සඳහා යොදා ගනු ලබන්නේ ශාක, සත්ත්ව සහ ඛනිජ කොටස්ය. ඒ අතරින් දේශීය වෙදකම සඳහා යොදා ගන්නා ‘බෙහෙත් බඩු’ අතරින් ශාක කොටස්වලට මුල් තැනක් හිමිවෙයි. ශාන්තිකර්ම සඳහා යොදා ගැනෙන ‘තොවිල් බඩු’ අතරට ශාක කොටස්වලට අමතරව සත්ත්ව හා ඛනිජ කොටස් ඊට වැඩි ප්‍රමාණයක් එක්කර ගැනෙයි.

ඒ කෙසේ හෝ අතීතයේ ‘‘ගංගොඩේ ඇවිදීමෙන්’’ මේවායින් වැඩි කොටස සොයා ගැනීමට එම වෙදකම් හා ශාන්තිකර්ම කරවා ගත් පවුල්වල සාමාජිකයන්ට හෝ ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ට හැකිවූ අතර එසේ සපයා ගැනීමට නොහැකි ද්‍රව්‍ය එම වෙද මහතුන් සහ ඇදුරන් විසින්ම සපයා දෙන ලදී. එමෙන්ම ගමේ ගොඩේ ඇවිද මෙම බෙහෙත් බඩු සහ තොවිල් බඩු සොයා දීම පින්කමක් ලෙසද එකල සමහරු සැලකූහ.

නමුත් වර්තමානයේ රටපුරා ව්‍යාප්ත වන නාගරීකරණය හමුවේ ගම හැකිළෙමින් නගරය දිග හැරීමේ තත්ත්වය මත ගම්බදින් සොයා ගත නොහැකි සිංහල බෙහෙත් බඩු සහ තොවිල් බඩු සඳහා නාගරික කලාප මුල් කොට වෙනම වෙළෙඳසල් බිහිවී එම වෙළෙඳසල් ජාලය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. අප ජීවත් වන පරිසරයෙන් සොයා ගත හැකි බෙහෙත් බඩු පසෙක තිබියදී ශාන්තිකර්ම සඳහා වන පහන් පැල තැබීමට අවශ්‍ය ගොක් අතු සේම වැටමාර හෙවත් ග්ලිරිසීඩියා කෝටුද අද මෙම තොවිල් බඩු කඩවලින් මිලට ගත හැක.

අද බොහෝ සිංහල බෙහෙත් බඩු කඩවල තොවිල් බඩු සඳහා වෙනම අංශයක් විවෘතව පවතී.මෙම බඩු අතර පොල් මල්, පුවක් මල්, අළු පුහුල්, එක නැට්ටේ දෙහි, දේවදාර, කුංකුමප්පු, සැවැන්දරා, නෙළුම් රේණු, මොනර කුඩුම්බිය, සුදු ඊතණ, සුවඳ කොට්ටං කැට, කොඬොල්, හබරල, අළු කෙසෙල් ආදී ශාක කොටස් සිය ගණනකි. ඊට අමතරව කට්ටකුමන්ජල්, සාම්බ්‍රාණි, ගෙන්දගම්, හිරියල්, අමු රත්‍රන් ආදී ඛනිජ සේම හරක් ඔළු, කස්තුරි, බඹර, දෙබර, දඬුවැල්බෑ සහ කනමීවද ඇතුළු සත්ත්ව කොටස් රාශියක්ද මේවායින් මිලට ගත හැක.

ඒවා මිලට ගැනීම පිණිස එම ශාන්තිකර්ම ඇදුරන් විසින් දෙනු ලබන තොවිල් බඩු වට්ටෝරුවක් ඉදිරිපත් කළ යුතුය.එහෙත් පසුගිය කාලය තුළ මා විසින් කරනු ලැබූ විමර්ශනයකට අදාළව මෙම සිංහල බෙහෙත් බඩු වෙළෙඳසල් මුල් කොට ක්‍රියාත්මක වූ තොවිල් බඩු අලෙවි යාන්ත්‍රණය අද වනවිට ඊට වඩා පුළුල් හා සංකීර්ණ ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.

මෙහිදී සිංහල බෙහෙත් බඩු අලෙවි සල් හිමියාගේ භූමිකාව කෙමෙන් යටපත් වෙමින් එම තොවිල් ඇදුරා සහ ඒවා සැපයුම්කරු සම්බන්ධ වෙනයම් අලෙවි යාන්ත්‍රණයක් හෙවත් නූතන ජනප්‍රිය ව්‍යවහාරයට අනුව කිවහොත් ‘ගරිල්ලා මාකටින්’ ජාලයක් ක්‍රියාත්මක වෙයි.මෙහිදී ඔවුන්ගේ වැඩි ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරනුයේ ගුප්ත ශාස්ත්‍ර මුල් කොට අන්‍යයන්ට විපත් පැමිණවීම හෙවත් අණ-වින, හදි-හූනියම් කිරීම් ආදී කටයුතුවලදීය.

‘හූනියම් බඩු’ වශයෙන් හැඳින්වෙන ඒවා සාමාන්‍ය සිංහල බෙහෙත් බඩු සහ තොවිල් බඩු මෙන් තොවිල් බඩු වට්ටෝරු ඉදිරිපත් කොට ප්‍රසිද්ධියේ සපයා ගත නොහැක. එබැවින් ඒවා රහසිගතව සපයා දීමට එම ඇදුරා ඉදිරිපත් වන අතර නොඑසේ නම් ඒවා රහසිගත සපයා ගත හැකි පුද්ගලයකුගේ දුරකථන අංකයක් ඔහු වෙතින් ලබාගත හැකිය. ඒ එම ගරිල්ලා මාකටින් ක්‍රියාවලයේ අංගයක් ලෙසිනි.

මෙම හූනියම් බඩු අතරට පුද්ගල සන්තකයේ තබාගැනීම සපුරා තහනම් වන මිනිස් හිස්කබල්, ඇටකටු සේම වනසත්ත්ව සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත සතුන්ගේ ශරීර කොටස් ආදියද ඇති බැවින් ‘‘මට මිනී ඔළුවක් දෙන්න’’ ආදී වශයෙන් ප්‍රසිද්ධ වෙළෙඳසල්වලින් ඉල්ලා සිටිය නොහැක.එසේ නොවුණද හූනියම් සඳහා පමණක් යොදා ගන්නා බවට කවුරුත් දන්නා රතු නිවිති වැනි ශාකයක් එළිපහලියේ ඉල්ලා සිටීමටද නොපුළුවන.

එමෙන්ම එවන් හූනියම් බඩු සපයා ගැනීම මුළුමනින්ම පෞද්ගලික හා රහසිගත මට්ටමකින් සිදු කිරීමට බොහෝ දෙනකු පෙලඹී සිටිනුයේ ක්‍රියාවක් වශයෙන් කෙසේ වුවත් චේතනාත්මක වශයෙන් එය සාපරාධී ක්‍රියාවක් බව එය සිදු කරන්නාද මනාව දැන සිටින බැවිනි.‘‘ඉස්සර තොවිල් බඩු හුඟක්ම විකිණුවේ ග්‍රහ අපල, ලෙඩ දුක්, හතුරු කරදරවලින් මිදෙන ශාන්තිකර්මවලට. නමුත් පහුවෙනකොට විභාග ජයගන්න, නඩුවලින් දිනන්න, උසස්වීම් ලබන්න, ධන සම්පත් හිමිවෙන්න වගේ කාරණා මුල් කරගෙන සිද්ධ කරන ශාන්තිකර්මවලට වුවමනා තොවිල් බඩු වැඩිපුර විකිණුනා.

ඔය අතරේ අද වෙනකොට අනුන් විනාශ කරන්න හිතාගෙන කරන අණ-වින, හදි-හූනියම් වගේ දේවල්වලට සම්බන්ධ තොවිල් බඩු හොයන පිරිස් ශීඝ්‍රයෙන් වැඩිවෙලා. ඒ වගේම අපේ මේ වෙළෙඳාම් පසුගන්වාගෙන ඒ වගේ රහස් ජාවාරම් වේගවත්ව ඉහළ යන බව අපිට ලැබෙන ආරංචිවලින් පෙනී යනවා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මහරගම නගර මධ්‍යයේ ප්‍රසිද්ධ තොවිල් බඩු වෙළෙඳ ව්‍යාපාරිකයෙක් කීය.

ඔහු වසර පනහකට ළංවන කාලයක් සිය ව්‍යාපාරය පවත්වාගෙන යන්නෙකි.ශ්‍රී ලංකාවේ බොහෝ නගර උප නගරවල මෙන්ම මහරගම, පිළියන්දල සහ හෝමාගම ආශ්‍රිතව මෙලෙස තොවිල් බඩු අලෙවි සල් කිහිපයක් දක්නට පුළුවන. එහෙත් ඔවුන් පවසනුයේ තමන් දන්නා හඳුනන ඇදුරන්ගේ තොවිල් සීට්ටු රැගෙන සිටින පිරිසක් තම වෙළෙඳසල්වලට පැමිණෙන අතර ඊට යටින් ක්‍රියාත්මක වන හොර ඇදුරන්ගේ සහ සංවිධානාත්මක ජාවාරම් මගින් අහිංසක මහජනතාවගේ මුදල් ලක්ෂ ගණනින් වංචා කෙරෙන බවකි.

එමෙන්ම එලෙස අසරණයන් ගසා කන හොර ඇදුරු පරපුර විශාල කොමිස් මුදල් යටතේ තමන්ද එවැනි හොර ජාවාරම්වලට නතු කර ගැනීමට නිරතුරුවම වෙර දරන බවද ඉන් කිහිප දෙනෙක් අප හා කීහ. එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මත්ද්‍රව්‍ය ලෝලීන් සොරෙන් කපා ගත් ගොක් අතු, පොල් මල්, පුවක් මල් ආදිය ගෙනවුත් කීයකට හෝ විකුණා ගැනීමට වෙර දැරීම්ද මේ දිනවල බහුලව සිදුවන මුත් තම නිත්‍ය සැපයුම්කරුවන්ගෙන් මිස බාහිර පුද්ගලයන්ගෙන් එවන් සැක කටයුතු දේවල් මිලට නොගන්නා බවය.

අණ-වින, හදි-හූනියම් සඳහා යොදා ගැනෙන ද්‍රව්‍ය අතරේ බරපතළ හූනියම් සඳහා අඳුන් දිවි සමක්ද යොදා ගැනෙන බව පැවසෙයි. මෙය බොහෝ ධනවතුන් විසින් කරනු ලබන හූනියමකි.නමුදු Prionailurus Viverrinus යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන අඳුන් දිවියා ජාත්‍යන්තර සොබා සංසදයේ (IUCN) රතු දත්ත ලැයිස්තුවට අනුව මුළු ලෝකයෙන්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව හිඳින සතෙකි. එමෙන්ම අඳුන් දිවියන් ඝාතනය කිරීම සේම එම සත්ත්ව කොටස් සන්තකයේ තබා ගැනීමද වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව බරපතළ අපරාධයකි.

එබැවින් එවැනි බරපතළ හූනියමක් කරගැනීමට තමන් සමීපයට පැමිණෙන ධනවතාට එහි බැරෑරුම්කම පෙන්වා දෙන ඇදුරා එය සපයා ගැනීමේ සහ ප්‍රවාහනය කිරීමේ අතිශය බැරෑරුම් වගකීමද තමන් වෙත පවරා ගනියි. ඒ එම කාරිය වෙනුවෙන් අමතර රුපියල් ලක්ෂ දෙක-තුනක මුදලක්ද අය කරමිනි.එමෙන්ම එම ගනුදෙනුකරුගේ අනන්‍යතාව සහ ඔහු පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමෙන් පසුව ඇතැම් විට කිසියම් ආරක්ෂිත ස්ථානයකදී එම ගනුදෙනුකරුවා හට ඒ අඳුන් දිවි සම ප්‍රදර්ශනය කරවීමටද ඇදුරා ඉදිරිපත් වන බව කියනු ලැබේ.

ඒ, එම හූනියමේ ප්‍රබලත්වය, එහි සත්‍යතාව සහ තම අවංකත්වය ගනුදෙනුකරුට වැඩිදුරටත් සාක්ෂාත් කරනු පිණිසය. ඉන්පසුව එම අඳුන් දිවි සම භාවිත කරමින් එම හූනියම සිදුකළ බව පවසන ඇදුරා ගනුදෙනුකරුගෙන් ඉතිරි මුදලද ලබාගෙන හූනියමේ ප්‍රතිඵල දෙස විමසිලිමත් වන ලෙස ඔහුට පවසා වෙනත් එවැනි ධනවත් ගනුදෙනුකරුවකු වෙතට යොමුවන බව පැවසෙයි. ඒ අඳුන් දිවි සමේ ‘ඇස් බැන්දුමෙන්’ තවත් එවැනි මිථ්‍යා ලෝලියකු රැවටීමට ඇති පහසු හැකියාව මනාව දන්නා බැවිනි.

මහ පොළොවින් ලැබෙන ඕනෑම මැණික් කැටයකට නියම මූල්‍ය තක්සේරුවක් තිබේ. එමෙන්ම එම තක්සේරුව මැණිකේ හිමිකරුට ලබාදීමට රාජ්‍ය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිල වශයෙන් බැඳී සිටියි. එහෙත් මෙම තොවිල් බඩු සහ හූනියම් බඩු සම්බන්ධයෙන් එවැනි මූල්‍යමය තක්සේරුවක් නොමැත. ශාන්තිකර්ම සඳහා යොදා ගනු ලබන එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් සාමාන්‍ය දෙහි මිල මෙන් විසි තිස් ගුණයක් ඉහළ යා හැක.

එසේම මෙහි ඇරඹුමේ සඳහන් වන රුපියල් හතළිහත්, අසූවත් අතර පවතින නිවිති කිලෝවක් සඳහා පැහැය මත පදනම් වන අන්ධ මිථ්‍යා විශ්වාසය මුල් කොට එමෙන්ම සිය දහස් ගුණයක මුදලක් වැය කිරීමට තරම් මානසිකව බංකොළොත් වී සිටින අප රටේ බොහෝ දෙනෙක් මෙවැනි කටයුතුවලදී විචාරශීලී, යථාර්ථවාදී පදනමක් අපේක්ෂා නොකිරීමද මෙම ගුප්ත ශාස්ත්‍ර ජාවාරම මගින් දිනකට රුපියල් ලක්ෂ ගණනක මුදලක් සොරුන්, වංචාකරුවන් අතට පත්වීමට හේතුවී තිබේ.

තිලක් සේනාසිංහ

t

o

p