රටේ පරිවර්තනයට අනුව අපිත් වෙනස් විය යුතුයි

August 24, 2019

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තමන් පක්ෂය තුල කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානය ගොඩනැගීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පක්ෂයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී පැවසීය.

ගතවූ වසර කිහිපය තුල වත්මන් ආණ්ඩුව ලබා දී තිබෙන නිදහස ආරක්ෂා කර ගනිමින් රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතු බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී පැවති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව ත්‍රිකුණාමලය, අම්පාර, පුත්තලම, මාතලේ, පොළොන්නරුව, යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

සෑම ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකුටම සංවර්ධන ව්‍යාපෘති සඳහා ලක්ෂ 05 බැගින් අප අමාත්‍යාංශය මගින් ලබාදීමට පසුගිය වසරේ මුදල් වෙන් කළා. බොහෝ මන්ත්‍රිවරුන්ට ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමට අවස්ථාව ලැබුණත් දින 52 ආණ්ඩු මාරු කාලය තුල ඇතැම් මන්ත්‍රීවරුන්ට වෙන්කළ මුදල් ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට නොහැකි වුණා. ඒ අයට සාධාරණය ඉටු කිරීමට අප මැදිහත්ව සිටිනවා. ව්‍යාපෘතිවල ප්‍රගතිය අනුව ලබන වසරේදී ලක්ෂ 10 – 15 දක්වා මුදල් ලබාදීමට අප පියවර ගන්නවා.

අපේ ආණ්ඩුව විශාල සංවර්ධන කටයුතු ප්‍රමාණයක් මේ වන විට සිදුකර තිබෙනවා. අද (22) උදෑසන මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ බේරේ වැව පළමු බෝට්ටු සේවය ආරම්භ කිරීමේ අවස්ථාවට මට සහභාගි වීමට අවස්ථාව ලැබුණා. බේරේ වැව පිරිසිදු කර කොළඹ අලංකාර නගරයක් බවට පත් කර තිබෙනවා. සංවර්ධනය කොළඹට පමණක් සීමා නොකර ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ගම්පෙරළිය, විමධ්‍යගත අයවැය, රන්මාවත්, ළඟම පාසල හොඳම පාසල, උදාගම් ව්‍යාපාරය වැනි විශාල වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. මේ සියලූ සංවර්ධන වැඩකටයුතු ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ හා සංවිධායකතුමන්ගේ සහයෝගය ඇතිව සිදුකරන බවත් සදහන් කරන්න කැමතියි.

පසුගිය කාලය තුල අභ්‍යන්තර උපාධිධාරින්ට රැකියා ලබාදීමට පියවර ගත් ආකාරයටම බාහිර උපාධිධාරීන්ටත් ඉදිරියේදී රැකියා ලබාදීමට පියවර ගන්නවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් පුහුණු ගුරුවරුන් බඳවා ගැනීමට පියවර ගත්තා. ව්‍යාපෘති සහායක බඳවා ගැනීම් සිදුකර ඔවුන් පුහුණු කිරීමෙන් අනතුරුව රටේ සංවර්ධන වැඩසටහන් සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

පසුගිය මස  06 ක කාලය තුල ඉදිරි මාස 06ටත් ප්‍රමාණවත් වන පරිදි විශාල වැඩ කොටසක් සිදුකර තිබෙන බව සඳහන් කරන්න කැමතියි. පසුගිය වසර 03ක කාලය තුල විශාල සංවර්ධන වැඩසටහන් රාශියක් නගරයේ සිට ගම දක්වා විහිදී යන ලෙස සිදුකළ බව මතක් කළ යුතුයි. අධ්‍යාපන, සෞඛ්‍ය ක්ෂේත්‍ර වෙනුවෙන් පෙරටත් වඩා වැඩි ආයෝජනයක් සිදුකර තිබෙනවා. පසුගිය වසර කීහිපය තුල රටේ අපනයනය ඉහල ගොස් ඇති බවත් සඳහන් කරන්න කැමතියි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරය කඩා වැටී සමස්ත ආර්ථිකයම බිඳ වැටේවි යැයි ඇතමුන් විශ්වාස කළා. අභියෝග කොපමණ පැමිණියත් ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අප පියවර ගත් බව සඳහන් කළ යුතුයි. මෙවැනි විශාල වැඩකොටසක් මීට පෙර කිසිදු රජයකට සිදුකිරීමට නොහැකි වුණා. බහුතර බලයක් සහිත ආණ්ඩුවකටවත් මෙවැනි විශාල වැඩකොටසක් සිදුකිරීමට හැකිවුනේ නැහැ.

රටේ පරිවර්තනයට අනුව අපිත් වෙනස් විය යුතුයි.  මෙරට ප්‍රධාන නගරයේ බේරේ වැව අලංකරණ බෝට්ටු සේවය ඇරඹිමේ සිට පළාත් පාලන නියෝජිතයින් වන ඔබ විසින් ග්‍රාමීය ව්‍යාපෘති සිදුකිරීම දක්වා සහයෝගය ලබාදීමට හැකිවීම පිළිබඳ මම සතුටට පත්වෙනවා.

රටේ ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සෑම අංශයකටම විශාල දියුණුවක් ඇති කර තිබෙනවා. වසර 10 – 20ක කාලයක් ලබාදීමට නොහැකිව තිබූ සමෘද්ධි සහනාධාර විශාල පිරිසකට ලබාදෙමින් සිටිනවා. එදා රජයන්ට මුදල් තිබුණත් සමෘද්ධි සහනාධාර ලබාදීමට ඔවුන් පියවර ගත්තේ නැහැ. අභියෝග හමුවේ වුවත් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අප ඒ යුතුකම ඉටු කළ බව සඳහන් කරන්න කැමතියි.

අප විසින් සම්මත කළ නව නීති නිසා පළාත් පාලන ආයතන නියෝජනය කිරීමට කාන්තාවන් වැඩි පිරිසකට අවස්ථාව ලැබුණා. ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කිරීම ඇතුළු තීන්දු තීරණ කිහිපයක් හේතුවෙන් ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් අපි ඇතිකර තිබෙනවා. අද අපට කොතරම් දෝෂාරෝපණ එල්ල කළත් ඒ කිසිවෙකුත් සුදු වෑන් වලින් ගෙන ගොස් අතුරුදහන් කිරීම් හෝ ඝාතනය කිරීම් සිදු කර නැහැ. දිනා ගත් නිදහස ආරක්ෂා කරමින් අප සියලූ දෙනාම ඉදිරියට ගමන් කළ යුතුයි.

පසුගිය වසර කිහිපය තුල විශාල වැඩකටයුතු ප්‍රමාණයක් සිදුකර තිබෙන නිසා එම වැඩපිළිවෙල තවත් ඉදිරියට ගෙන යා යුතුයි. දේශපාලන පලිගැනීම් හේතුවෙන් ගැටළු මතුවී තිබෙන සියලූ දෙනාට සාධාරනයක් ඉටුකර දීම සඳහා සොයා බලන ලෙස පාලිත රංගේ බණ්ඩාර මැතිතුමාට මම උපදෙස් ලබාදී තිබෙනවා. කොතරම් අභියෝග හමුවේ වුවත් රැකියා ලබාදීමට අප පියවර ගත්තා. ඉදිරියේදීත් රැකියා ලබාදීමට රැකියා අවස්ථා බිහිකළ යුතුව තිබෙනවා.

රටක් දියුණු කිරීමට වසර 10 – 15 ක කාලයක් අවශ්‍ය වෙනවා. මෙම සංවර්ධන වැඩපිළිවෙල ආරක්ෂා කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අපේම ආණ්ඩුවක් ඇති කිරීමට පියවර ගත යුතුයි. පක්ෂය තුල කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බව පක්ෂ නායකයා වශයෙන් සඳහන් කරන්න කැමතියි. ඇති කිරීමට නියමිත සන්ධානයේ වැඩකටයුතු ඉතා ඉක්මනින් අවසන් කරන ලෙස පක්ෂ නායකයින්ටත්, පක්ෂ නිලධාරීන්ටත් මම උපදෙස් ලබාදී තිබෙනවා.

ලැබී තිබෙන සීමිත කාලය තුල ඔබගේ ව්‍යාපෘතිය  අනුමත කර එම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ප්‍රදේශයේ ජනතාවට ලැබෙන පරිදි කඩිනමින් වැඩකටයුතු අවසන් කරන ලෙස ඔබ සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  මහතා

පසුගිය මාස කිහිපය තුල වේගයෙන් වැඩ කිරීමට අපට හැකිවීම පිළිබඳව පක්ෂයේ මහලේකම් වර්යා වශයෙන් සතුටට පත්වෙනවා. සෑම ආයතනයකම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලක්ෂ 3000ක් – 4000ක් පමණ ගම්පෙරළිය වැඩසටහන මගින් ලබාදීමට හැකිවුනා. රන් මාවත් ව්‍යාපෘතිය වැනි විවිධ ව්‍යාපෘති ගණනාවකින් ග්‍රාමීය සංවර්ධනය ඇතිකර පළාත් පාලන නියෝජිතයන් වන ඔබ සියලූ දෙනාටම ග්‍රාමීය ජනතාව සමඟ එක්ව වැඩකළ හැකි තරමේ ප්‍රතිපාදන ලබාදීමට අප කටයුතු කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබන සැප්තැම්බර් මාසය තුල තවත් පාසල් ගොඩනැගිලි 500ක් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. එම කටයුත්ත සංවිධායකරුවන්, මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, සම්බන්ධිකාරක කමිටු සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට අප පියවර ගන්නවා. මීට පෙර අවස්ථා දෙකකදී ගොඩනැගිලි 200 හා  250 පිළිවෙලින් විවෘත කිරීමට අවස්ථාව ලැබුණා. සුරක්ෂා රක්ෂණය මගින් පාසල් සිසුන්ගේ සෞඛ්‍ය නගාසිටුවීමට අපි පියවර ගත්තා. සෑම ආයතනයකටම බෙදී යන ලෙස බදවාගන්නා ව්‍යාපෘති සහකාර පත්වීම් කඩිනමින් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

දින 52 ආණ්ඩු මාරුවෙන් පසුව විශාල වැඩකොටසක් ඉතා වේගයෙන් සිදුකිරීමට හැකි වුණා.

ඒ සියලූ වැඩකටයුතු සිදුකර තිබෙන නිසා පක්ෂයක් වශයෙන් සියලූ දෙනාම එකමුතුව මේ ගමන යායුතුයි. කැඩී බෙදී යන්නේ නැතිව ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීමට පියවර ගත යුතුයි. සියලූ දෙනාම එක්සත්ව කටයුතු කළහොත් මේ මැතිවරණය ජයග්‍රහණය ලබාගැනීමට අපට අපහසුවන්නේ නැහැ.

පක්ෂයේ නායකතුමා 2015 වසරේ ආණ්ඩු බලය ලබාගන්නා බව 2014 වසරේ සඳහන් කළවිට බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැහැ. නමුත් සැලසුමකට අනුව වැඩකළ නිසා ආණ්ඩු බලය ලබාගැනීමට හැකිවුණා. ඉන් පසුව රජය ලැබුණත් රාජ්‍ය නායකත්වය හිමිවූයේ නැහැ. 1994 වසරේ සිටම අපට රාජ්‍ය නායකත්වයක්  නොමැතිව පත්වූ සෑම අවස්ථාවකම ආණ්ඩු බලය ගෙනගියා. ජාතික ආණ්ඩුවල පවා බොහෝ අභියෝගවලට මුහුණදෙමින් ආණ්ඩු බලයක් සහිතව ජනාධිපතිවරණයට මුහුණදීමට සිදුවී තිබෙනවා.

එහිදී වාසි හා අවාසි කිහිපයක් ඇති විය හැකියි. ඉන් අවාසිවලට වඩා වාසී වැඩි බව සඳහන් කරන්න කැමතියි. රටේ ඡන්ද ලබාදීමේ සැකැස්ම ඔබ සියලූම දෙනාම දන්නවා. එක්සත් ජාතික පක්ෂයට යම් යම් කොටස්වල ඡන්ද පදනමක් තිබුණත් අපට අවාසිදායක කොටසුත් ඇති බව මතක් කරන්න කැමතියි.

ලබන ජනාධිපතිවරණයෙන් 51% ලබාගැනීමට කටයුතු කරන විට ජාතිවාදී, අන්තවාදී ස්වරූපයෙන් පැමිණෙන පොහොට්ටුවේ රාජපක්ෂවරුන්ට මෙම මැතිවරණය ජයගැනීමට  සිංහල බෞද්ධ ඡන්දවලින් 73% ලබාගත යුතුයි. ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඔවුන් ජාතිවාදී ආගම්වාදී මැතිවරණ ව්‍යාපාරයක් ගෙන යන නිසා ඔවුන්ට එය ලේසි වන්නේ නැහැ.

මෙම මැතිවරණයට විශාල සංවර්ධන වැඩකොටසක් සිදුකරමින් අවතීර්ණ වන නිසා අපිට විශාල වාසියක් අත්වන බව සඳහන් කළයුතුයි.  මෙම මැතිවරණයේදී විවේචන එල්ල වුවත් රාජපක්ෂවරුන් එයට විකල්පයක් ලෙස ගෙන යා යුතුයැයි අදහසක් නැහැ. එදා රාජපක්ෂලා ගෙන ගිය දේශපාලනය ජනතාවට අමතක වෙලා නැහැ. සුදුවෑන් සංස්කෘතිය සහිත රාජපක්ෂ දූෂිත සංස්කෘතිය ජනතාවට අමතක වී නැති බව සඳහන් කළ යුතුයි.

මාධ්‍ය යොදාගෙන මැතිවරණ ජයග්‍රහණය කරන්න බැරි බව සියලූ දෙනාම මතක තබාගත යුතුයි. සමහර මාධ්‍ය විකාශය ඇරඹිමේ සිට අවසානය දක්වා එජාපයත්, නායකයාත් විවේචනය කරමින් පක්ෂ බෙදීමට වෙනම සැලසුම් සිදුකරනවා. අපි එවැනි සැලසුම්වලට කිසි ලෙසකින් බිය විය යුතු නැහැ. 2015 මැතිවරණ ජයග්‍රහණය ලබාගැනීමේදී අපට එක මාධ්‍යයකින්වත් සහාය ලැබුණේ නැහැ. ආණ්ඩු බලය තිබුණේ නැහැ. රාජපක්ෂ පාලනය  2015 මැතිවරණ ජයග්‍රහණය  වෙනුවෙන් රාජ්‍ය බලය යොදාගැනීමට පියවර ගත් ආකාරය අපට මතකයි. ඒ නිසා මම කියන්න කැමතියි අප එක්සත්ව, එක්සිත්ව එකමුතුකමත්, කණ්ඩායමක් වශයෙන් සියලූම නායකයින් එක්ව කටයුතු කිරීමෙන් ලබන වසර 10ක කාලය ආණ්ඩුව ගෙන යෑමේ අවස්ථාව එජාපය ප්‍රමුඛ ආණ්ඩුව බව ඔබට කියන්න කැමතියි.

ඉදිරි වසර 10 සඳහාත් එම ආණ්ඩුබලය රැකගෙන යෑම අප සියලූ දෙනාම බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් බව මෙහිදී සඳහන් කළ යුතුයි. විවිධ අදහස් මතවාද තිබුණත් බුද්ධිමත්ව සැලකිල්ලෙන් යුතුව කටයුතු නොකලහොත් අපි සියලූ දෙනාටම අනාගතයේ පසුතැවෙන්න සිදුවේවි.

ඒ නිසා ලබන වසර 10ක කාලය සඳහා ආණ්ඩුබලය ගෙන ඒම රාජපක්ෂ නායකත්වය අපේ පක්ෂයට ලබාගැනීමටත් අගමැති ධූරය අපේ පක්ෂය වෙත ලබාගැනීමටත් ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමටත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමටත් හැකිවන පරිදි කටයුතු කළ යුතුයි. එහි ප්‍රතිලාභ ඔබ සියලූ දෙනාටම ලැබෙන බව කිව යුතුයි.

2014 වර්ෂයේ තවත් වසර දෙකක් ඉතිරිව තිබියදී රාජපක්ෂවරු විසින් ආණ්ඩුව විසිරුවා හැරීමට පියවර ගත්තා. රට ගෙනයා නොහැකිව සිටි නිසා ඔවුන් මැතිවරණයක් කැඳවූ බව ඔබත්, මාත් මෙහි සියලූ දෙනාමත් දන්නා කරුණක්. ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීම, මත්ස්‍ය අපනයනය තහනම් වීම වැනි හේතුන් නිසා ලෝකය හමුවේ අපේ රට කොන් වී  සිටි බව කිව යුතුයි. 

එම මැතිවරණ ජයගෙන එම කොටස් සියල්ලටම පිළිතුරු ලබාදෙමින් රට ස්ථාවර කිරීමට හැකි වුණා. පසුගිය වසර 4ක කාලය තුල රාජ්‍ය සේවකයින්ගේ වැටුප 106% ඉහල නැංවීම, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන්  2014 වර්ෂයට වඩා පහත හෙලීම වැනි විශාල වැඩකොටසක් සිදුකරමින් අද මේ රට ඉදිරයට ගෙන ඒමට අපේ ආණ්ඩුව සමත්වී තිබෙනවා.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා

අපේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙල අද වෙන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එහි ප්‍රතිපළ දැන් මේ රටේ ජනතාවට බුක්ති විදීමට අවස්ථාව ලැබී තිබෙනවා.

සෑම ආසනයකම ගම්පෙරලිය වැඩසටහන, රන්මාවත් වැඩසටහන ක්‍රියාත්මක වන බව සදහන් කළ යුතුය. විශේෂයෙන්ම ගම්පෙරලිය වැඩසටහන මගින් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුවී තිබෙනවා. මේ වනවිට රජය සංවර්ධන වැඩකටයුතු මෙන්ම දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් පිළිබදවද සලකා බලා ඔවුන්ට වන්දි ලබාදීමට පියවර ගන්නවා. උපාධිධාරින්ට රැකියා ලබාදීම, උසස් පෙළ සුදුසුකම් අනුව රැකියා අවස්ථා ලබාදීමටත් අප පියවර ගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බන්ඩාර මහතා

2015 ජනවාරි 08 වෙනිදා වෙන විට මේ රට මහා විනාශයකට තල්ලූ වී තිබුණා. එදා පැවති තත්වයෙන් අපි රට මුදාගෙන අද රට නිසි මගට යොමු කර තිබෙනවා. අද මේ රටේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් උදාවී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ පාලනය තුල ක්‍රියාත්මක වූ සුදුවෑන් අද නැහැ. මාධ්‍ය ආයතන ගිනිතැබීම් අද සිදුවන්නේ නැහැ. පුද්ගලයින් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම් අද සිදුවන්නේ නැහැ. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ගෙන ඒමට හැකිවූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු අපේ ආණ්ඩුව ගත් වැඩපිළිවෙල නිසා බව කිව යුතුයි.

බලයෙන්ම මත්ව වැඩකටයුතු කළ නීතිය ගණන් නොගත් අවනීතිය ක්‍රියාවට නැංවූ පාලනය වෙනස් කිරීමට 2015 වසරේ දී අපට හැකිවුණා. එදා විපක්ෂයේ සිට රාජ්‍ය බලය අවනීතිය සමඟ වෙනත් කන්ඩායම් සමග එක්ව කටයුතු කිරීමට සිදුවුණා.

මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, සමාජ නිදහස ෙදාරේගලන තත්වයට පත්ව තිබෙනවා. එම නිදහස යොදාගෙන විවිධ මාධ්‍ය ආයතන නිර්ධය ලෙස අප විවේචනයට ලක්කරනවා. නාලිකා විකාශ ආරම්භයේ සිට අවසානය දක්වා ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීමට හැකි නිදහස අප ලබාදී තිබෙනවා. පසුගිය ආණ්ඩු බලය මෙන් කටයුතු කළානම් සුදුවෑන් යොදාගෙන මාධ්‍ය ආයතන වලට පහරදීම්, මාධ්‍යවේදීන් පැහැරගෙන යාම්, සිදුකළා නම් මෙවැනි තත්වයක් ඇතිවන්නේ නැහැ. එම ම්ලේච්ඡ යුගයට අප ගමන් කරන්නේ නැති බව සදහන් කරන්න කැමතියි.

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාලක කොලොන්නේ, රෝහිණි විජේරත්න, ඉම්රාන් මහරුෆ් යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලඥයින් විශාල පිරිසක් සහභාගිව සිටියහ.

t

o

p