ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ පක්ෂ ව්‍යවස්ථා කෙටුම්පත කඩිනම් කරන්න

August 23, 2019

ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ ව්‍යවස්ථාවේ කෙටුම්පත වහාම සකස් කර දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට යළිත් වරක් ඊයේ (22) දැනුම් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් නව සන්ධානය පිහිටුවීමට ගිවිසුම් අත්සන් කිරීම හෝ අපේක්ෂකයා නම් කිරීම හෝ කිරීමට පෙර අඩුම තරමේ පක්ෂ ව්‍යවස්ථා කෙටුම්පතවත් තමන්ට ලැබිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට දැනුම් දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත දැනුම්දීම කරනු ලැබූවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරන බවට අදහස් පළ වී ඊට අදාළ කෙටුම්පතවත් සකස්වී නොමැති වීම හේතුවෙනි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිල නිවසේ පැවැති එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පුළුල් සන්ධානය පිහිටුවීමට අවශ්‍ය ව්‍යවස්ථාවට සංශෝධන ඇතුළත් කර අවසන් කෙටුම්පතක් කිරීම ඇමති රාජිත සේනාරත්න මහතාගේ හා එ.ජා.ප සභාපති, මහාමාර්ග හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති කබීර් හෂීම් මහතාගේ එකගතාවයෙන් කිරීමට තීරණය විය.

ඉහත තීරණය ගෙන සතියකට ආසන්න කාලයක් ගතව ඇතත් මෙතෙක් අඩුම තරමේ ඊට අදාළ කෙටුම්පතවත් සකස් නොකීරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට අග්‍රාමාත්‍යවරයා තම බලවත් කනස්සල්ල පළ කරනු ලැබීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත ලැබුණු පසු ගිවිසුම්ගත වීම හා අපේක්ෂක නම් කිරීමට අවශ්‍ය පසුබිම සකස් වෙතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

t

o

p