කෙරවළපිටිය කසළ අංගනය වහාම ක්‍රියාත්මක වන පරිදි නවතයි

August 6, 2019

ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කසළ අංගනය වහාම ක‍්‍රියාත්මකවන පරිදි නැවැත්වීමට කටයුතු කෙරෙන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අප අමාත්‍යාංශය මගින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීමේ කටයුතු වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද සිට නැවැත්වීමට කටයුතු කරන ලදී. මෙම කසළ අංගනය කොළඹ නගරයේ ඇතිවූ හදිසි කසළ ගැටළුවට තාවකාලික පිළියමක් ලෙස වසරක කාලසීමාවකට යටත්ව ආරම්භ කලද මේවන විටත් වසර දෙකකට වැඩි කාලසීමාවක් පවත්වාගෙන යන ලදී. මේ වනවිට ලබාගත හැකි කසළ ධාරිතාව ඉක්මවා ගියද ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම කසළ අංගනය පවත්වාගෙනයාමේ අභිලාශය වුයේ නොපැවරුණු ජාතික වගකීමක් ඉටුකිරීමේ සමාජමය සද්භාවය වන බව ඉතා නිහතමානීව ප‍්‍රකාශ කළ යුතුය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදි අරුවක්කාලූ ප‍්‍රදේශයේ ඉදිකර ඇති විද්‍යාත්මක සනීපාරක්‍ෂක කසළ රඳවනය වෙත මේ වනවිටත් කසළ බැහැර කිරීමේ හැකියාව ඇතත්, ඒ සඳහාත් විවිධ බාධාවන් මතුවී ඇති පසුබිමක සංස්ථාවට මේවන තෙක් වත්තල කෙරවලපිටිය කසල අංගනය පවත්වාගෙන ඒමට සිදුවිය. කෙසේ වෙතත් අධික ධාරිතාවයක් සහිතව කසළ භාරගැනීම විවිධ පාරිසරික හා සමාජයීය ගැටළු නිර්මාණය වන බවට පරිසර අධිකාරිය ඇතුළු විවිධ ආයතන මගින්ද දැනුම්වත් කර ඇත.

එසේම පසුගිය දින ගනනාවකදී විපක්‍ෂයේ ඇතැම් දේශපාලන නියෝජිතයන්ගේ මැදිහත්වීම් කඩාපැනීම් හා සේවකයන් බියවද්දමින් සිදුකරන්නාවූ විවිධ ක‍්‍රියාකාරකම් නිසා කෙරවලපිටිය කසළ අංගනය තවදුරටත් පවත්වාගෙන යාමේ බාධාවන් නිර්මාණයවී ඇත. මෙම අනවශ්‍ය මැදිහත්වීම් සම්බන්ධව වත්තල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබියදී 2019 අගෝස්තු මස 05 වන අද දිනයේදීත් ඇතැම් විපක්‍ෂ දේශපාලනඥයන් කඩාපැනීමක් සිදුකර ඇති අතර මෙම තත්වය අනවශ්‍ය ගැටුමක් කරා දිග්ගැස්සවීමට එම සංස්ථාව විසින් කිසිසේත් කැමැත්තක් නොමැති අතර තවදුරටත් මෙම අංගනය වෙත කසළ බාරගැනීමේ කටයුතු සිදු නොකිරීමට තීරණය කරන ලදී.

මෙරට ජනතාව මුහුණදුන් ඉතා ඛේදනීය අත්දැකීමක් වන පසුගිය 2017 වර්ෂයේ අප‍්‍රියෙල් මස 14 වන දින සිදුවූ මිතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් පසුව කොළඹ ඇතුළු තදාසන්න නගරවල තැනින් තැන  කසළ කඳු ගොඩගැහෙන්නට විය. විවිධ වසංගත රෝග අවදානමක් මෙන්ම මිනිසුන්ට ජීවත්වීමටවත් අපහසු තත්වයක් නිර්මාණය වන පසුබිමක් තුළ කොළඹ හා තදාසන්න නගරයන්හි ජනතාව එකී අවධානම් සහගත තත්වයෙන් මුදවාගැනීමේ වගකීම රජය විසින් භාරකරන ලද්දේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාටය. එහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමන් විසින් ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ සියලූ පලාත්පාලන ආයතන ඒකරාශී කරගනිමින් ත‍්‍රිවිධ හමුදාවන්හි සහ පොලීසියේ දායකත්වය ඇතුව දින තුනක් වැනි කාලයක් ඇතුලත කොළඹ නගරයේ කැලිකසළ ගැටළුව නිසිලෙස කළමනාකරණය කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව කසළ ගැටළුවට හදිසි තාවකාලික විසඳුමක් ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කෙරවලපිටිය කසල අංගනය ආරම්භ කොට පවත්වාගෙන යන ලදී.

t

o

p