පාස්කු ප්‍රහාරයේ වාර්තාව නොදී කිසිදු ජනපතිඅපේක්ෂකයෙක් එන්න එපා

July 31, 2019

පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදී කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කොළඹ අගරදගුරු නිල නිවසේදී අද(31) පෙරවරුවේ කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය.

පළමුව කල යුතු දේ කර පසුව ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත්, අද වන විට මෙම ප්‍රහාරයේ බලපෑම සියලු දෙනාට අමතක වී ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

මුළු රටම කම්පනයට පත් කරමින් සිදුවු පාස්කු ඉරිදා ප්‍රහාරයට අද වන විට මාස 3ක කාලයක් ඉක්ම ගොස් ඇතැයි ද පැවසු කාදිනල් හිමියන්, ඒ තුළින් ආර්ථිකය කඩා වැටුණු බව ද සඳහන් කළේය.

තුවාල ලැබූවන්, පවුල්වල සාමාජිකයින් අහිමිවුවන් වෙත ගොස් තමා හැකි අයුරුන් ඔවුන්ව සනසාලන්නට කටයුතු කල බවද පැවසු කාදිනල් හිමිපාණන්, ඔවුන්ට අවශ්‍යව ඇත්තේ වන්දි නොව යුක්තිය ඉටු කිරීම බවද සඳහන් කළේය.

මෙම කුරීරු ත්‍රස්තවාදී ප්‍රහාරය සංවිධානය කළ, එයට අනුග්‍රහය දැක්වු හෝ බුද්ධි තොරතුරු හිතා මතා නොසලකා හරිමින් සිටි හෝ කුමන හෝ ආකාරයකින් මෙයට සම්බන්ධ වුවන්ට අද වන තෙක් කිසිදු දඬුවමක් ලැබී නොමැති බවත් ඔවුන් නිදැල්ලේ සිටින බවත් පැවසු කාදිනල් හිමියන්, ආණ්ඩු පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂය හා සෙසු සියලු පක්ෂ ප්‍රහාරය ගැන සම්පූර්ණයෙන් වගකිව යුතු බවද පැවසීය.

මෙවැනි අවස්ථාවක බලාපොරොත්තු වන්නේ එකි නෙකා ලකුණු දා ගැනීම නොව සියලු දෙනා සහෝදරයන් මෙන් එක්ව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම බවද සඳහන් කර සිටි කාදිනල් හිමියන්, එහෙත් ශක්තිමත් බලපෑමක් විරුද්ධ පක්ෂයෙන් නොලැබුණු බවද කියා සිටියේය. 

මේ වන තෙක් ප්‍රහාරයන් ගැන කිසිදු වාර්තාවක් ජනතාව අතට ගොස් නැතැයි පැවසු කාදිනල් හිමිපාණන්, අපරාධකරුවන්ට අපක්ෂපාතී පුද්ගලයින්ගෙන් සමන්විත කොමිෂන් සභාවක් මඟින් දඬුවම් කර නොමැති බවත්, පවතින කොමිෂන් සභාවේ අපක්ෂපාතී බවක් හෝ විනිවිඳභාවයක් දක්නට නොලැබෙන බව ද පැවසීය.

එවැනි පසුබිමක් තුළ ස්වාධීන කොමිෂන් සභාවක් ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට අත්‍යාවශ්‍ය බවත්, “අපිට ඕනේ මැතිවරණ නෙමෙයි, අපිට ඕනේ සත්‍යය“ යනුවෙන් ද කාදිනල් හිමියන් කියා සිටියේය.

ආණ්ඩු පක්ෂය හා සියලු දෙනා මෙම සිදුවීමත් රතු පලස මත සඟවා දැමීමට කටයුතු නොකර සියලු දෙනාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටි උන්වහන්සේ, රතුපස්වල සිදුවීම් වාර්තා පවා ජනතාව අතට පත්ව නොමැති බවත්, එනිසා එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධූර අපේක්ෂකයෙක් සියලු දෙනාට තමා ළඟට නොඑන ලෙසත් පැවසීය.

මුදල් ලබා දී ඇඟ බේරා ගැනීමට නොහැකි බවත් පැවසු උන්වහන්සේ, ජනාතවගේ හා රටේ උන්නතිය වෙනුවෙන් තාවකාලික ප්‍රයෝජන ගැන නොසිතා ජනතාව අනාගතයේ තීරණ ගනු ඇතැයි අපේක්ෂා කරන බවද  කියා සිටියේය.

තමා කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන බවත්, ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් සැමදා කැප වෙන බවත් පැවසු කාදිනල් හිමිපාණන්, ඇතැම් මාධ්‍ය තුළින් තමාව දේශපාලන අතකොළුවක් බවට පත් කර ගැනීමට උත්සහ ගන්නා බවත් සඳහන් කළේය.

තමාට පක්ෂයක් නොමැති බවත්, තමාට ඇත්තේ ජනතා පක්ෂයක් බවත් කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසීය.

t

o

p