වසර අගදී ජනාධිපතිවරණයට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් සිටින නමුත් ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ඊට ද ජයග්‍රාහීව මුහුණ දිමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
පළාත් සභා මැතිවරණය විශිෂ්ට ආකාරයෙන් ජයග්‍රහණය කර ඊළඟට එන ජනාධිපතිවරණයේ දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇති බව පැවසූ රණතුංග මහතා තමන්ගේ අරමුණ හැකි ඉක්මණනින් මැතිවරණයක් ලබාගැනීම බවත් පැවසීය.
ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසනයේ නීතිඥ සංගමය ආරම්භ කිරීමේ උත්සවයට පසුගිය දා (25) සහභාගී වෙමිනි. අධිකරණ කලාපයක් ආවරණය වන පරිදි දේශපාලන පක්ෂ නීතීඥ සංගමයක් මෙරට බිහිවූ ප්‍රථම අවස්ථාවද මෙය වේ. රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මෙන්ම 2015 මහ මැතිවරණයේදිත් මිනුවන්ගොඩ ආසනයේ නීතිඥ මහත්ම මහත්මීන් අපට විශාල සහයෝගයක් දැක්වූවා. නාම යෝජනා සකස් කිරීම ඇතුළු කරුණු කාරණා රාශියකදී තමුන්නාන්සේලා අපට විශාල ශක්තියක් වුණා. මිනුවන්ගොඩ අධිකරණ බල සීමාව තුළ මෙවැනි නීතිඥ සංගමයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා වගේම තමුන්නාන්සේලාට මම සුබ පතනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කරලා සුළු කාලයක් ගත වන විට දකුණු ආසියාවේ සුවිශාලතම පක්ෂය බවට අද පත්ව තිබෙනවා. පක්ෂය හදලා දිස්ත්‍රික් සහ ආසන බල මණ්ඩල හදලා, කාන්තා සහ තරුණ සංවිධාන හදලා විශාල වැඩකොටසක් මේ වන විට කරලා තිබෙනවා. ඒ වගේම ඉතාම කෙටි කලක් තුළ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්න අපට හැකියාව ලැබුණා.
ඒ ජයග්‍රහණයත් සමඟ ඉදිරි වැඩපිළිවෙළ සකස් කරගන්න අපට දැන් අවස්ථාව ලැබිලා තිබෙනවා. මේ වසර තීරණාත්මක වසරක්. වසර අග දි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒ වගේම ජනාධිපතිවරණය කලින් පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවකුත් අහන්නට ලැබෙනවා. එහෙම වුණොත් ඔක්තෝම්බර් මාසයේ දි පමණ අපට පළාත් සභා මැතිවරණයට මුහුණ දෙන්නට සිදුවෙයි.
අද වන විට රටේ පවතින තත්ත්වයත් සමඟ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. ආණ්ඩුව ඡන්දවලට බයයි. පළාත් පාලන මැතිවරණය වසර දෙකක් කල්දැම්මා. පළාත් සභා මැතිවරණයත් දැන් දීර්ඝ කාලයක් තිස්සේ කල්දමමින් ඉන්නවා. ආණ්ඩුව මැතිවරණ කල්දමන්නෙම ඒවා ජයග්‍රහණය කරන්න පුළුවන්කමක් නැති බව දන්න නිසයි.
අද රට පත්වෙලා තිබෙන තත්ත්වය ගැන තමුන්නාන්සේලාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මහ බැංකු හොරකම ගැන දැන් කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද හැමදාම මොකක් හරි හොරකමක්, මගඩියක් එළියට එන නිසා. හැබැයි මහ බැංකු හොරකමත් සමඟ බැංකු පොලී අනුපාත වැඩිවෙලා ආර්ථිකය කඩා වැටිලා මිනිස්සුන්ට ව්‍යාපාර කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා.
ජාතික ආරක්ෂාව බිඳ වැටී තිබෙනවා. බුද්ධි අංශ අඩපණ වීමත් සමඟ ජාතික ආරක්ෂාව අනතුරේ වැටිලා තිබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය ගත්තත් විශාල පසුබෑමක් දක්නට ලැබෙනවා. මහින්ද මහත්තයා එදා රට භාර ගත්තේ සුනාමියෙන් විනාශ වූ රටක්. මහින්ද මහත්තයා යුද්ධයත් ඉවර කරලා රටත් සංවර්ධනය කරලා මිනිස්සුන්ට සුවසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කළා.
අපේ අඩුපාඩු තිබුණා. අපි නැහැ කියන්නේ නැහැ. මර්වින් සිල්වා, සජින් වාස් වගේ අය අපේ ආණ්ඩුවේ ප්‍රතිරූපය විනාශ කරපු බව අපි පිළිගන්නවා. යුද්ධයෙන් පසුව අපට ලැබුණු බලයත් එක්ක සමහර මහජන නියොජිතයෝ බලය අවභාවිත කරපු ආකාරය අපි දැක්කා. සමහර අවස්ථාවල මේවා සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මිනිස්සු තීරණය කළා ආණ්ඩුවට රිද්දන්න ඕනේ කියලා.
ඒ අය කළේ ජනාධිපතිවරණයේදී අනෙක් පැත්තට ඡන්දය ගහපු එක. හැබැයි ඡන්ද ප්‍රතිඵලය එනකොටම මිනිස්සුන්ට තමන් කරපු වැරැද්දේ තරම තේරෙන්න ගත්තා. මේ ආණ්ඩුව බලයට පත්වෙලා වසර හතරක් යනකොට මිනිස්සුන්ට මහින්ද මහත්තයාගේ අගය වැටහිලා තිබෙනවා. ඒ නිසා දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ නිතියේ ආධිපත්‍ය සුරකින් සෘජු නායකත්වයකට රට භාර දෙන්නයි.
ඒ සඳහා තමයි මේ රටේ වෘත්තිකයෝ, නිතියට ගරු කරන සියලුදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටින්නේ. මට එතුමා නම් කරන්න බැහැ. නමුත් ජනතාවගේ ඉල්ලීම නිසා මම එතුමාගේ නම දිස්ත්‍රික් කමිටුවේ යෝජනාවක් ලෙස මහින්ද රාජපක්ෂ මහත්මයාට දන්වලා යවලා තිබෙනවා. අගෝස්තු 11 වෙනිදට අපි විශ්වාස කරනවා රටේ ජනතාවගේ පැතුම ඉටුවෙයි කියලා.
නොයෙකුත් අභියෝග මැදයි මේ කටයුතු කෙරෙන්නේ. ගෝඨාභය මහත්මයට විරුද්ධව ඇමෙරිකාවේ පැමිණිලි දුසිමකට වැඩිය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. අපි දැක්කා මාර්තු 31 වැනි දා දක්වා පුරවැසිභාවය ඉවත් කරගත් ලයිස්තුවේ ගෝඨාභය මහත්මයාගේ නම නැහැ කියලා පුවත්පත් වාර්තා කරලා තිබෙනවා. නමුත් ඒ කවුරුත් කියන්නේ නැහැ ගෝඨාභය මහත්මයා පුරවැසිභාවය ඉවත් කරගැනීමේ ඉල්ලීම කළෙත් මාර්තු 31න් පස්සෙයි කියලා.
නමුත් මාර්තු 31 දක්වා ලයිස්තුවේ නම නැහැ කියලා උලුප්පලා දක්වන්න හදන්නේ ගෝඨාභය මහත්මයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ කියන මතවාදය රටේ හදන්නයි. සමහරු දැන් කියනවා 225ම එපා කියලා. මේවත් 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ වගේ මේ ජනාධිපතිවරණයේදිත් රට තුළ විවිධාකාර මත හදන්නයි. මේවට අහුවෙන්න හොඳ නැහැ.
ජනාධිපතිවරණය ළං වෙන කොට ජනාධිපති භූතයෝ මතු වෙමින් තිබෙනවා. පල්ලෙවත්ත එන්නේ ආර්ථිකය හදන්නලු. නාගානන්ද එන්නේ රටේ ව්‍යවස්ථාව හදන්න. ධම්මික පෙරේරා එන්නේ තාක්ෂණය ගැන කතා කරමින්. මේ හදන්නේ රටේ ආණ්ඩු විරෝධය වෙනත් තැනකට යොමු කරන්නයි. රන්ජන්ලා, මංගලලා බුද්ධාගමට ගහන්නෙත් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බෞද්ධ ක්‍රිස්තියාන බේදයක් හදන්නයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපති නිතිඥ සරල කරුණාරත්න මහතා.
2015 ජනාධිපතිවරණයෙන් පස්සේ රට තුළ මතුව ඇති වාතාවරණය අපි කාටත් රහසක් නොවෙයි. රටේ ආර්ථීකය, ආරක්ෂාව, නීතියේ ආධිපත්‍ය වගේ කරුණු සම්බන්ධයෙන් නිතිඥවරුන් වශයෙන් තමුන්නාන්සේලා කවුරුත් හොඳින් දැනුවත් වෙලා ඉන්නවාට කිසිම සැකයක් නැහැ. රට පත්වෙලා තිබෙන මේ අවාසනාවන්ත තත්ත්වයේ දි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න වාත්තිකයන් වශයෙන් අපට යුතුකමක් තිබෙනවා.
අද වන විට ජනතාවට එදා වේල කාලා ඉන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මම එහෙම කියන්නේ නීතිඥයකු වශයෙන් මං ගාවට එන සේවාදායකයන් පත්වෙලා ඉන්න අසරණ තත්ත්වය ඇස්දෙකින්ම දැකපු නිසයි. දවසක් මං ගාවට එක සේවාදායකයෙක් ආවේ තමන්ගේ දරුවාගේ කැටේ කඩලා ඒ සල්ලි ටික දරුවගෙම මේස් කකුලක දාගෙනයි. ඒ පුද්ගලයා මට කිව්වා බස් එකේ එන්න මුදල් නැති නිසා හැතැප්ම දහයක් පයින් ආවා කියලා.
මේක තමයි අද රටේ ඇති වෙලා තිබෙන තත්ත්වය. අපි කාටත් මේක රහසක් නෙමෙයි. ඒ නිසා වහාම මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. තවදුරටත් රටක් වශයෙන් මේ වගේ ඉදිරියට යන්න අපට බැහැ. රටට වගකියන, සෘජු නායකත්වයක් අපේ ජනතාව වෙනුවෙන් පත්කර ගන්න ඕනේ. ඒ සඳහා අපි පෙරමුණ ගමු. වෘත්තිකයන් වශයෙන් අපේ යුතුකම ඉටු කරමු.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නීතිඥ සංගමයේ ජාතික සංවිධායක නීතිඥ සරණ කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.