අය වැයෙන් වැඩි කළ රුපියල් 2500 රාජ්‍ය සේවක වැටුපට අද සිට

July 25, 2019

අයවැයෙන් වැඩි කළ රු 2,500 අද සිට රාජ්‍ය සේවකයන් අතට පත් වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජනා කරන ලද රජයේ සේවකයන් සඳහා වූ රුපියල් 2,500 වැටුප් වැඩි කිරීම අද (25) සිට ක්‍රියාත්මක වේ. ලක්ෂ 11කට අධික රාජ්‍ය සේවකයන් පිරිසකට මෙම රුපියල් 2,500 දීමනාවක් ලෙස අද (25) වැනිදා ලබා දුන් ජූලි මස වැටුප සමග හිමි වී ඇත. මෙම වැටුප් වැඩි කිරීම වෙනුවෙන් රජය මාසිකව වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 2,700කට අධික ය.

2015 වසරට සාපේක්ෂව ලබන වසරේ ජනවාරි මස වන විට රජයේ සේවකයන්ගේ මූලික වැටුප 107%කින් පමණ ඉහළ නැංවෙන අතර,  මෙම රුපියල් 2,500 දීමනාව ලබා දෙනු ලබන්නේ ඊට අමතරව ය.

ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීම සහ විශ්‍රාම වැටුප් ඉහළ නැංවීම ඇතුළු වැටුප් ඉහළ නැංවීම් වෙනුවෙන් මේ වසර අවසන් වන විට රජයට වැය කිරීමට සිදු වන මුදල රුපියල් බිලියන 1,000 ඉක්මවනු ඇත.

ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ කොමාන්ඩෝ දීමනාව, ගෙවල් කුලී දීමනා ඇතුළු දීමනා ඉහළ නැංවීම, වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබා දෙන දීමනාව ඉහළ නැංවීම සහ විශේෂ හැකියාවන් ඇති පිරිස් වෙනුවෙන් ලබා දෙන දීමනාව ඉහළ නංවමින් වසර ගණනක් පැවැති පොරොත්තු ලේඛනය අහෝසි කිරීම  ඇතුළු අයවැය මගින් යෝජනා වූ සහන රැසක් ජූලි මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත්තේ ය.

t

o

p