අර්ජුන ඇලෝසියස් ඇතුළු අට දෙනෙකුට ඇප

July 19, 2019

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (19) නියෝග කළේය.

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත්ය කරනු ලැබීය.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසිය තුළින් රුපියල් බිලියන 10. 58 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යාපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

එම වෙන්දේසියේ දී  සාපරාධී විශ්වාසය කඩ කිරීම තුළින් රජයට රුපියල් මිලියන 688 කුත් හත් ලක්ෂ හැට දෙදහස් එකසියයක පාඩුවක් සිදුකළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි යන අයට විරුද්ධව නීතිපතිවරයා තවත් චෝදනාවක් එල්ල කොට තිබේ.

මෙම නඩුවේ තුන්වන විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත චෝදනා ගොනු කර ඇත්තේ ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ වන අතර ඒ වෙන්දේසියේදී අභ්‍යන්තර තොරතුරු භාවිතා කරමින් ලංසු තැබීම සම්බන්ධයෙන්ය.

නඩුව අද කැඳවූ අවස්ථාවේ එහි පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ දස වන විත්තිකරු වන අජාන් ගාර්දිය පුන්චිහේවා යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු ද අධිකරණයේ පෙනී සිටියේය.

කෙසේවෙතත් අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් අට දෙනාට චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරු මඩුල්ල නියෝග කළේ ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවටයි.

පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය පැවසුවේ ජාත්‍යන්තර පොලිසිය හරහා සිංගප්පූරුවේ වාසය කළ  අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් 2018 වසරේ අප්‍රේල් මස 05  වනදා නිල් නිවේදනයක් ද එම අප්‍රේල් මාසයේම 19 වනදා රතු නිවේදනයක් ද නිකුත් කිරීමට කටයුතු කෙරුණු බවයි.

විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් 2018 වසරේ පෙබරවාරි මාසයේ  සිට පැවැත්වුණු බැදුම්කර කොමිසමේ විමර්ශනවලට සහභාගී වූ බවත් එම කොමිසමේ වාර්තාව නිකුත් වීමට ආසන්නව තිබෙන අවස්ථාවක සිංගප්පුරුව බලා පිටව ගොස් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මෙතුළින්  අර්ජුන් මහේන්ද්‍රන් හිතාමතාම මෙම අධිකරණ ක්‍රියාවලිය මඟ හැරීමට උත්සාහ දරා ඇති බවට පෙනී යන හෙයින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා වරෙන්තුවක් නිකුත් කරන මෙන් ද ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

මෙම නඩුවේ දහ වන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තාද අධිකරණය මගහැර සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා සිතාසියක් නිකුත් කරන ලෙසද රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

පැමිණිලි පාර්ශ්වය විසින් සිදු කළ එම ඉල්ලීම් පිළිබඳ එම නියෝගය ලබන 24 වන දා ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

t

o

p