දේශපාලන ව්‍යාපෘතියක් වූ සමෘද්ධිය සැබෑ ජනතා ව්‍යාපාරයක් බවට පත් කළා

July 18, 2019

සැබෑ දුප්පත් ජනතාව දෙපයින් නගාසිටුවීමේ උදාර චේතනාවෙන් දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කල ජනසවිය සමෘද්ධිය ලෙස සිය දේශපාලන ව්‍යාපෘතියක් ආරම්භ කරමින් නියම සුදුස්සන් වෙනුවට තම පාක්ෂිකයින්ට පමණක් බෙදාගත් යුගය වසර 25 කට පසු අවසන් කර සහනාධාර ලැබිය යුතු නියම සුදුස්සාට ඒ සහනාධාරය ලබාදීමට වත්මන් එක්සත් ජාතික පක්‍ෂ රජයට හැකියාව ලැබී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටුවේ සභාපති , ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

        පොදු පෙරමුණු ආණ්ඩුව සමෘද්ධි ව්‍යාපාරය දිවි නැගුම දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කරමින් කිරීමට උත්සහ කල දුප්පත් ජනතාවගේ පත් පතත් විකුණමින්  දේශපාලනය කිරීමේ උත්සාහය වැරදුනු මොහොතේ , පාර්ලිමේන්තු තේරීම කාරක සභාවක් පත් කර එක් දිනකින් නඩු අහලා, තීන්දුවත් දීලා අධිකරණයට වගේම නීතියට කල හැකි විශාලම අගෞරවය කල ඒකාබද්ධයේ කල්ලිය අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සහ අධිකරණය පිළිබද කරන කතා තරම් විහිළුවක්  තවත් නැති බවද දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය .

        තංගල්ල මැතිවරණ කොට්ඨාශයේ සැබෑ සුදුස්සන් සදහා සමෘද්ධි ප්‍රතිලාභ ප්‍රදානය කිරීම නිමිත්තෙන් තංගල්ල නගර ශාලාවේදී අද 17 දින පැවති උත්සවයේදී දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසිය .

        එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා     වසර 25 කට පසුවයි ලංකාවේ ජනතාවට මෙවන් අවස්ථාවක් උදා වුනේ . කිසිදු දේශපාලන පක්‍ෂ, පාඨයකින් තොරව නියම සුදුස්සාට ලැබිය යුත්ත ලබාදීම වත්මන් රජයේ වැඩපිළිවෙලයි . ඒ අනුවයි සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදු කලේ .  මේ අනුව මම විශ්වාස කරනවා මෙදා ඒ නියම සුදුසු අයට මෙම සමෘද්ධි සහනාධාරය ලැබුනා කියලා . මට මතකයි 1991 වසරේ මම මේ තංගල්ල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති . 88 – 89 භීෂණ කාලයේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා පාළන බලය අරගෙන මෙරට දුගී බව දුරන් කරන්න ජනසවිය වැඩසටහන ආරම්භ කළා . එදා එතුමා මේ වැඩපිළිවෙල ආරම්භ නොකරන්නට අද සමෘද්ධියක් නැහැ .  දුප්පත් ජනතාවගේ දුගී බව තුරන් කරලා ඒ ජනතාවටත් දෙපයින් රටේ අනෙකුත් ජනතාව මෙන් නැගී සිටින්න අවස්ථාව ශක්තිය ලබාදීම තමයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනසවිය වැඩසටහනේ අරමුණ . මට මතකයි එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එකම දිනක එකම වෙලාවක රටේ සියළු දුප්පත් ජනතාවට ජනසවිය ලබාදුන්නා . එවන් රාජ්‍ය නායකයෙකු එතුමාගේ පාලනයෙන් පසු මෙතෙක් බිහි වුනේ නැහැ . දුප්පත් ජනතාව ගැන හිතන , ඒ ජනතාවගේ ආර්ථිකය  ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා          

              රටේ සියළු ජනතාව සවිබල ගැන්වීම සදහා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කල මෙම සත්කාරය 94 බලයට පැමිණි පොදු පෙරමුණු රජය දේශපාලන ව්‍යාපෘතියක් කර ගත්තා . දුප්පතාගේ බඩගින්න පවා දේශපාලනයට යොදාගත් ඒ පාලකයින් ජනසවිය , සමෘද්ධිය ලෙස වෙනස් කළා . ඒ විතරක් නෙමෙයි සමෘද්ධිය ලබා දුන්නේ පොදු පෙරමුණේ අයට විතරයි . අපේ පාක්‍ෂිකයට වගේම අනෙකුත් පක්‍ෂවල පිරිස් මේ සමෘද්ධි සහනාධාරයෙන් කපා දැමීමට එදා 94 බලයට පත් වූ ආණ්ඩුව කටයුතු කළා . සමෘද්ධි ව්‍යාපාරය ඉදිරියට දමා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ලෙස බදවාගත් කණ්ඩායම යොදවා සිය දේශපාලනය ක්‍රියාත්මක කිරීමට තරම් එදා පොදු පෙරමුණු පාලකයින් දුප්පත් අහිංසක ජනතාවගේ දුක කදුල යොදාගත්තා . එදා පොදු පෙරමුණු ආණ්ඩුව ආරම්භ කල මේ දේශපාලන ව්‍යාපෘතිය මගින් ඒ කල්ලියේ හැර අනෙක් සියළු දෙනාගේ සමෘද්ධි ආධාරය කපා දැමීමට කටයුතු කල බව අපි කවුරුත් දන්නා කරුණක් . නමුත් වත්මන් රජය මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට කිසි දේශපාලනයක් නැහැ . රජයක් විදිහට අපි නිලධාරීන්ට පැහැදිලිව උපදෙස් දීලා තියෙන්නේ මේ සමෘද්ධි ප්‍රතිලාභ සදහා නියම සුදුසු පුද්ගලයින් කිසිදු පක්‍ෂ පාඨ බේදයකින් තොරව තෝරන්න කියලා . අපි බලයට පත් වුනේ ජනතාවගේ පහසුකම් කප්පාදු කරන්න නෙමෙයි . ජනතාවට ලැබිය යුතු දේවල් ලබා දෙන්න . ඒ නිසා අපේම ජනතාවගේ බඩගින්නෙන් දේශපාලනය කිරීමට තරම් එක්සත් ජාතික පක්‍ෂය බංකොලොත් වෙලා නැහැ .       

        “    සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු කිසිම කෙනෙකුගේ ආධාරය කිසි ලෙසකින් කපා දමන්නේ නැහැ කියන සහතිකය බය නැතිව දෙන්න පුළුවන් හැකියාවක් , ශක්තියක් අපිට තියෙනවා . හැබැයි ඒ ශක්තිය පහුගිය ආණ්ඩුවල කිසි මැති ඇමතිවරයෙකුට තිබුනේ නැහැ .  ඒ වගේම තමයි අපේ ආණ්ඩුවක් යටතේ ඉදිරියටත් එවැනි කප්පාදුවක් වෙන්නෙත් නැහැ . වෙන්න ඉඩ තියන්නෙත් නැහැ . මම ඔබ සියළු දෙනාටම කියන්න කැමතියි හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම සමෘද්ධි ප්‍රතිලාභීන් ඉන්නේ මේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බව . නුසුදුසු කිසි කෙනෙකුට මෙදා මේ ප්‍රතිලාභ දීලා නැහැ . ඒ නිසා මේ සමෘද්ධි ප්‍රතිලාභ ලැබීමට සුදුසු නමුත් සහනාධාරය නොලැබුණු කවර හෝ අයෙක් ඉන්නවානම් වහාම ප්‍රාදේශීය ලේකම් හමුවෙන්න . සිය සුදුසු කම් තහවුරු කරලා ඉල්ලීමක් කරන්න . එවිට ඒ අය සුදුසු නම් සමෘද්ධි ප්‍රතිලාභය නිසැකවම ඒ අයට හිමි වෙනවා . මේ නිසා මම දිස්ත්‍රික් ලේකම් තුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පිලිබදව සොයා බැලීමට කම්ටුවක් පත් කරන්න . මේ කම්ටුවට ප්‍රාදේශීය ලේකම් , ග්‍රාම නිලධාරී , සමෘද්ධි සංවර්ධන නිලධාරී , කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී යන නිලධාරීන් ඇතුළු සුදුසු නිලධාරීන්ගෙන් මේ කම්ටුව සමන්විය යුතුයි . සුදුසුකම් තියෙන එහෙත් සමෘද්ධි ප්‍රතිලාභ නොලැබුණු බවට ඉදිරිපත් වන මහජන පැමිණිලි සහ ඉල්ලීම් මේ කම්ටුව මගින් සලකා දෙසතියක් තුල වහාම වාර්තාවක් ලබාදෙන්න කටයුතු කරන්න . ඒ වාර්තාව රජයට ඉදිරිපත් කරලා අසාධාරණයක් වෙලා තියෙනවනම් ඒ සියළු දෙනාට සාධාරණයක් කරන්න කටයුතු කරනවා . මම කිසිම වෙලාවක කිසිම කෙනෙකුගේ අයිතියක් හිමිකමක් නැති කරන්න කටයුතු කරන්නේ නැහැ . 

        “   මෝහතක් හිතලා බලන්න , රණසිංහ ප්‍රේමදාස මැතිතුමා රටේ පොදු මහජනතාව ගැන වගේම ගමේ අසරණ අහිංසක ජනතාවට සහන සලසන්න මොනතරම් වැඩකොටසක් කල නායකයෙක් ද කියලා . එදා ඔබලාට රජයෙන් කරගැනීමට අවශ්‍ය හැම දේකටම හම්බන්තොට දුවන්න වුනා . දිසාපති කාර්යාල වලින් තමයි එදා රජයේ හැම කටයුත්තක්ම සිදු වුනේ . මේ ඈත , ගම්වල ජනතාවට වුනත් වැඩක් කරගන්න හම්බන්තොට දුවන්න වූ ඒ යුගය නැති කලේ ප්‍රේමදාස මැතිතුමා . ඒ බලය විමධ්‍යගත කිරීම මගින් . ඒ වැඩපිළිවෙල යටතේ ප්‍රේමදාස මැතිතුමා ප්‍රාදේශීය ලේකම් කාර්යයාල පිහිටුවමින් කල බලය විමධ්‍යගත කිරීම නොකරන්නට අදටත් ඔබ සියළු දෙනාටම වෙන්නේ හම්බන්තොට දුවන්න . මේ අතීතය අමතක කරන්න එපා . රටට වැඩක් කලේ , දුප්පත් ජනතාවගේ දුක හදුනාගෙන ඒ ජනතාවට සේවයක් කලේ කවුද කියලා හිතන්න . එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකලානම් අදත් මේ ප්‍රතිලාභය ගන්නත් ඔබලා සියළු දෙනාටම හම්බන්තොට කච්චේරියට යන්න වෙනවා .    

        “   ඔබ සියළු දෙනා වගේම රටේ මුළු මහත් ජනතාවම මොහොතක් කල්පනා කරන්නේ ඕනේ ඒකාබද්ධ විපක්‍ෂ කල්ලිය අද නටන නාඩගම මොකක්ද කියලා  . බලන්න ඒ කල්ලිය බලයේ ඉන්දැද්දී නීතිය තඹ සතේකට මායිම් නොකර අධිකරණයට කරන්න පුළුවන් දැවැන්තම විනාශය කරමින් කටයුතු කල ආකාරය . ඒ කණ්ඩායම අද නිතිය හා අධිකරණයේ ස්වාධීනත්වය පිලිබදව කරන කතා . ඔබලාට මතක ඇති එදා අපේ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කල ජනසවිය සමෘද්ධිය කියලා ආරම්භ කල දේශපාලන ව්‍යාපෘතිය දිවිනැගුම කියලා දෙපාර්තමේන්තුවක් කරන්න පනතක් පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කල ආකාරය . එදා අධිකරණය පැහැදිලිව කිවුවා ඒ පනත නීති විරෝධී කියලා . මේ දේශපාලන හැතිකරය මොකද කලේ .       

        “  පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද ඇත්ත හොයන්න පත්කළ තේරීම කාරක  සභාව පිලිබදව බිල්ලෝ මවලා රට ගිනිතියන්න හදන මේ ඒකාබද්ධ කල්ලිය එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට  එරෙහිව පාර්ලිමේන්තු තේරීම කාරක සභාවක් පත් කරලා එක දවසින් නඩු අහලා තීන්දුවත් දීලා අගවිනිසුරුවරිය එලියට ඇද දාපු ඒ අදුරු කාලකන්නි අතීතය අමතක වෙලා වගේ මේ කල්ලිය අද කතා කරන්නේ . හැබැයි එකක් කියන්න ඕනේ . ඒ අදුරු අතීතය ඒ අය අමතක කරන්න කොච්චර උත්සහ කලත් ජනතාවට නම් ඒ දේවල් අමතක වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න කියලා ඔය ඒකාබද්ධ කල්ලියට මතක් කර දෙන්න ඕනේ .        

       “  සියළු ජනතාවට මෙන් දුප්පත් අසරණ අහිංසක ජනතාව දෙපයින් නගාසිටුවීම  සදහා දියත්කරන මේ දැවැන්ත සමාජ මෙහෙවර අනුව සියළු ජනතාවට සාධාරණය ඉටුකිරීමට රජයක් ලෙස කැපවෙනවා .  ජනතාවගේ ආදරය දිනාගනිමින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට හැකි වුනේ එක්සත් ජාතික පක්‍ෂ රජයක් තියෙන නිසයි .   යනුවෙන්ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය . 

       මෙම අවස්ථාවට තංගල්ල නගරාධිපති රවිදු වෙදආරච්චි මැතිතුමා , දිස්ත්‍රික් සහකාර සමෘද්ධි කොමසාරිස් , ප්‍රාදේශීය ලේකම් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටයහ .

t

o

p