තිරිගු පිටි මිල වැඩි කළාට නඩු දැන්නැයි සිවිල් සංවිධාන රජයෙන් ඉල්ලයි

July 17, 2019

තිරිගු පිටි ආනයනය කරන සමාගම් පිටි මිල මැඩි කර ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව බැවින් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.

විෂය භාර අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් මේ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු බව පවසන එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ මෙසේද සදහන්වේ.

තිරිගු පිටි ආනයනය කරනු ලබන සමාගම් විසින් තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8 කින් වැඩි කර ඇති බව මේ වන විට මාධ්‍ය විසින් වාර්තා කර ඇත. කිසිදු හේතුවක් නොමැතිව තිරිගු පිටි මිල වැඩි කිරීම නිසා බේකරි නිෂ්පාදන වල මිල ඉහළයාමට හැකියාවක් ඇත. මෙම රජය බලයට පත් වූ විගස තිරිගු පිටි මිල අඩු කරමින් ප්‍රකාශ කළේ වතුකරයේ ජනතාව දෛනිකව තම ආහාර සදහා තිරිගුපිටි භාවිතා කරන බැවන් එසේ මිල අඩු කල බවයි. අපිට දැන් රජයෙන් ඇසීමට සිදුවන්නේ වතුකරයේ ජනතාව දැන් තිරිගුපිටි සිය ආහාර සදහා භාවිතා කරන්නේ නැද්ද? යන්නයි.

කෙසේ වෙතත් තිරිගුපිටි මිල සමාගම්වලට අවශ්‍ය ආකාරයට සංශෝධනය කල නොහැක. ඊට හේතුව තිරිගු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස හදුන්වමින් පාරිභෝගික කටයුතු අධිකාරිය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 20(5) වගන්තිය යටතේ  2019 ජූලි 14 වනදා ගැසට්පත් අංක  1975/68 යටතේ තිරිගු පිටි කිලෝ එකක් සදහා රුපියල් 87.00 ක පාලන මිලක් නියම කර තිබීමයි. පාරිභෝගික කටයුතු අධිකාරිය භාර අමාත්‍යවරයා වන බුද්ධික පතිරණ ඇමතිවරයාගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ වහාම උක්ත ගැසට්පත අනුව කටයුතු කරමින් තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින්හට නීතිය ක්‍රියාත්මක  කරන ලෙසයි. පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට කුඩා ව්‍යාපාරිකයින්ට නීතිය එක් ආකාරයකටත් විශාල සමාගම්වලට නීතිය වෙනස් ආකාරයකටත් ක්‍රියාත්මක කරමින් සිටින නිසා මෙම ගැසට්පත අනුව වැටලීම් කරවියැයි බලා පොරොත්තු තබා ගත නොහැක.

t

o

p