කුරුණෑගල ‍වෛද්‍ය ෂාෆි ගැන පුද්ගලයින් 758 කගෙන් ප්‍රකාශ

June 19, 2019

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සෙයිබ්දීන් මොහොමඩ් ෂාෆි පිළිබඳ විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයින් 758 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සෙයිබ්දීන් මොහොමඩ් ෂාෆි පිළිබඳj අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශනවල තොරතුරු ඉදිරිපත් කරමින් අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මැයි 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන් ප්‍රකාශ ගණනාවක් සටහන් කර ඇති අතර, එහිදී සිසේරියන් සැත්කම් කල කාන්තාවන් 601 කගේ, විශේෂඥ ප්‍රශව හා නාරි වෛද්‍යවරුන් 07 ක ගේ‍්, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකුගෙන්, නොමේරූ ළඳරු වෛද්‍යවරුන් 6කගෙන්, සිසේරියන් සැත්කම් සිදු කරන වෛද්‍යවරයාට සහය දෙන වෛද්‍යවරු 11 ක් හා නිර්වින්දන වෛද්‍යවරු10 කගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඊට අමතරව සිසේරියන් සැත්කමක් සිදු කිරීමේ දී, හෙද නිලධාරීන් දෙදෙනෙකුගේ සහය ලැබෙන බවත් එවැනි හෙදියන් 70 කගේ හා ප්‍රධාන හෙද නිලධාරිනියගේ මෙන්ම සැත්කමට සහය වන උපස්ථාන සේවකයින් 18 කගේ හා මතෘ ලිංගික විශේෂඥවරුයෙකුගෙන් මෙන්ම කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් ද ප්‍රකාශ ලබා ගෙන තිබේ.

විමර්ශනයට වැදගත් විවිධ පුද්ගලයින් 31කගෙන් ද මෙලෙස ප්‍රකාශ ලබා ගෙන ඇති අතර, ඒ අනුව පුද්ගලයින් 758 කගේ ප්‍රකාශ මෙයට අදාළ වෙයි.

අත්අඩංගුවේ පසුවෙන වෛද්‍ය ෂාෆිගෙන් ද අවස්ථා කීපයක දී ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද පැවසු පොලිස් අධිකාරීවරයා, කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ මස  27 වන දින මෙම ප්‍රකාශයන්ගේ සාරාංශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව ද කියා සිටියේය.

t

o

p