‍පාස්කු ප්‍රහාරයට පසු සෞදියට පලා ගිය සැකකරුවන් 5 ක් අල්ලයි

June 14, 2019

සෞදි රාජ්‍යයේ ජෙඩාහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මොහොමඩ් මිල්හාන් ඇතුළු සැකකරුවන් 05 දෙනා ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජිකයින් වන බව පොලීසිය තහවුරු කරගෙන තිබේ.

එසේම මොවුන් පසුගිය වසරේ වව්නතිව් ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් බව ද හෙළිදරව් වී ඇත.

මොවුන් පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවන ප්‍රහරයකට සුදානම්ව සිටි පිරිසක් බවටද පොලීසිය සැක පහළ කරයි.

ජෙඩාහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද (14) අලුයම දිවයිනට රැගෙන එන ලදි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල සැකකරුවන් අද අලුයම 04ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව පොලීසිය සඳහන් කළේය.

අයි.එස් ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වන මොහොමඩ් මිල්හාන් ඇතුළු ප්‍රබල සාමාජිකයින් 05 දෙනෙකු සැකකරුවන් අතර වන බව පොලීසිය ප්‍රකාශ කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවත් සමඟ මෙම සැකකරුවන් සෞදි රාජ්‍යයට පළාගොස් තිබුණි.

t

o

p