ලෝකයේ ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරු කථානායකවරයා සමඟ විශේෂ හමුවක් සඳහා 11 දින පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියහ. “ ත්‍රස්තවාදය කෙටිකලක් තුල මුළුමනින්ම පාහේ අකර්මන්‍ය කර ආරක්ෂාව තහවුරු කල ලෙසටම ශ්‍රී ලංකාව සියළුම අන්තවාදයන් පිටුදැක නොබෝ දිනකින්ම යලි සමඟි සම්පන්න ශක්තිමත් දේශයක් ලෙස නැගී සිටිනු ඇතැයි” කථානායකවරයා මෙම තානාපතිවරු හමුවේ කියා සිටියේය.
“පාර්ලිමේන්තුව අදාල ආංශික කාරක සභා සහ අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් ත්‍රස්තවාදය හා ඊට අවශ්‍ය පෝෂණය ලබා දෙන අන්තවාදය පිටුදැකීමට පැහැදිලි නීති සම්පාදනය කරමින් සිටින බවත්, එක රටත් තුල එක් නීතියක් යටතේ එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමට ඉන් පදනම සැලසෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත්” පැවසීය.
විශේෂයෙන්ම ආගමට මුවා වී සිදුකරන අන්තවාදී ක්‍රියාවලියත්, ලමා විවාහ, බහුවිවාහ මෙන්ම අන්‍යතාවය වසන් කරන විලාසිතා සහ අන්තවාදය පෝෂණය කරන ආධ්‍යාපන ආයතන සම්බන්දව පියවර ගැනීමේ දී ඉස්ලාම් නායකයන් මෙන්ම සාමකාමි බහුතර ඉස්ලාම් ජනතාවගෙන් ලැබුණ සහය හා මඟ පෙන්වීම කෘත වේදීව සිහිපත් කරන බවද කථානායකවරයා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාව තුල කවර ජාති ආගම් ජීවත් උවද සියල්ලන්ටම බලපාන පොදු නීතියක් ක්රීයාත්මක කිරීමේ අවශ්‍යතාවය තමන්ද අවිවාදයෙන් පිළිගන්නා බව මෙහිදී ඉස්ලාම් රටවල තානාපතිවරු පැවසූහ.
එමෙන්ම, මද්රසා පාසල් සහ ආගමික අධ්‍යාපන ආයතන රජයේ අධීක්ෂණය යටතට පත්වීමද වැදගත් අවශ්‍යතාවයක් බව එම තානාපතිවරු සඳහන් කලහ. වෛරී කථනය හා සමාජ මාධ්‍ය මඟින් පතුරවන වෛරී අදහස් පාලනයට පියවර ගැනීමේ වැදගත්කමද මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ.
කථානායකවරයා සමග මෙම හමුවට එක් වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේයවර්ධන, ආංශික කාරක සභා සභාපතිවරුන් වන මයන්ත දිසානායනක, මලික් ජයතිලක යන මන්ත්‍රීවරු කරුණු පැහැදිලි කලහ.
මෙම හමුව සදහා , ඇෆ්ගනිස්ථානය,බංලාදේශය,ඉජිප්තුව,ඉංදුනිසියාව,ඉරානය, ඉරාකය,ලිබියාව,කුවේට්,මැලේසියාව,ඕමානය,පකිස්තානය,පලස්තීනය,කටාර්, සෞදිආරාබිය, තුර්කිය යන රටවල් නියෝජනය කරමින් තානාපති නිළධාරීහු එක්ව සිටියහ.