මහින්දානන්දට බෙහෙත් ගන්න සිංගප්පූරු යන්න අවසර

June 4, 2019

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණය මඟින් පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කොට සිංගප්පූරූ යාමට කොළඹ මහාධිකරණය අවසර ලබා දුන්නේය.

මෙම නඩුව අද(04) කැඳවූ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ මස 13 වනදා සිට 18 වනදා දක්වා කාලසීමාව තුළ සිංගප්පූරුවට යාමට අවශ්‍ය ඇති බව දන්වා සිටියේය.

එම නිසා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී විනිසුරු ආධිත්‍ය පටබැඳී මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේ විදේශ ගත වීමට තිබෙන අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පිළිගෙන ඇති බවයි.

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත පණවා තිබූ විදේශ ගමන් තහනම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ අනුව එය ඉවත් කිරීමට නියම කළ අතර කෙසේ වෙතත් විදේශ ගත වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස ද විත්තිකාර මන්ත්‍රීවරයාට නියම කළේය.

විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලීමක් කරමින් එම නඩුවේ සාක්ෂි දුන් කහවගේ ඩග්ලස් නැමති සාක්ෂිකරුගෙන් නැවතත් හරස් ප්‍රශ්න ඇසීමට අවසර දෙන මෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි මස 25 දා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු පටබැඳි මහතා ප්‍රකාශ කළේය.

t

o

p