දේවස්ථාන හා හෝටල් තුන තුළ වූ පිපිරිම් මරාගෙන මැරෙන ප්‍රහාර රසපරික්ෂක තහවුරු කරයි

April 22, 2019

පාස්කු ඉරිදා (21)  කිතුණු දේවාස්ථාන තුන තුළ සිදු වු පිපිරීම් සහ කෙළඹ හෝටල් තුනක් තුළ සිදු වු පිපිරීම් මරාගෙන මැරෙන පිපිරීම් බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

දිවයිනේ ස්ථාන 8ක ඊයේ සිදුවු පිපිරීම් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාළ පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට යොමු කර ඇති බවයි.

ඊයේ දිනයේ කිතුණු බැතිමතුන්ට සුවිශේෂී දිනයක් වන පාස්කු ඉරිදා, ශ්‍රී ලංකාවාසීන්ට මෙන්ම සමස්ත ලෝක වාසීන්ටම ශෝක දිනයක් බවට පත්විය.

මේ අතර ඊයේ දහවල් දෙමටගොඩ පිපිරීම සිදුවූ නිවසේ සිටි පිරිසගේ ඥාතීන් පිරිසක් ඊයේ පස්වරුවේ පොලිස් භාරයට ගැණුණි.

කාන්තාවන් 6 දෙනෙක් කුඩා දරුවන් තිදෙනෙකුද සමඟ පොලිස් භාරයට ගැණුනු අතර පිරිමි පුද්ගලයින් 3 දෙනෙක් ද ඒ අතර වෙයි.

මේ අතර එම නිවසේ ඊයේ රාත්‍රිය වනතුරුම පරීක්ෂණ සිදු කෙරුණු අතර එහිදී නිවස තුළ තිබී සිරුරු කොටස් කිහිපයක් පොලීසිය සොයාගත්තේය.

මේ අතර ප්‍රහාරය සඳහා සූදානම් වූ බවට සැක කෙරෙන පානදුර ප්‍රදේශයේ නිවසක් පිළිබඳවත් ඊයේ පොලිසිය තොරතුරු තහවුරු කරගෙන තිබු අතර ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් එම නිවස සෝදිසි කරනු ලැබීය.

කටුනායක ගුවන් තොටුපළේ පිවිසුම් මාර්ගය ආසන්නයේ තිබී හමුවු දේශිය වශයෙන් නිපදවු වැඩි දියුණු කරන ලද බෝම්බයක් ගුවන් හමුදාව විසින් ඊයේ රාත්‍රියේ නිශ්ක්‍රීය කළේය.

මුර සංචාරයක නිරත ගුවන් හමුදා භට පිරිස් විසින් අදාළ බෝමබය ඊයේ රාත්‍රි සොයා ගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

ගුවන් තොටුපළ පිවිසුම ආසන්නයේ ආඬිඅම්බලම මාර්ගය අසල තිබු එම බෝමබය අඩි 06ක පමණ දිගකින් යුත් පි.වී.සි නලයක පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ එකක් බව ඔහු පැවසීය.

ගුවන් මගින්ට පමණක් මේවන විට ගුවන් තොටුපොළ පරිශ්‍රයට  ඇතුල් විමට ඉඩ ලබාදෙන බව ගුවන් තොට‍ුපොල ස්ථානභාර කළමනාකරු පවසයි.

ඒ  අනුව ගුවන්තොටුපොළ අවට මේවන විට දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබේ. ඊයේ දහවල සිට ගුවන් තොටුපොල ආරක්ෂාව ගුවන් හමුදාව යටතට‍ පත් කොට තිබේ.

අතර කටාන කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ලකළ බවට සැක කෙරෙන පුද්ගලයා දේවස්ථානයට ඇතුළු වන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ඊයේ මාධ්‍යයට මෙලෙස නිකුත් වී තිබුණි.

 

t

o

p