තමන් යටතේ ඇති පළාත් පාලන ආයතනවලට මුදල් වෙන් කරනවාට ඒකාබද්ධය විරුද්ධයි

April 3, 2019

තමන් යටතේ පවතින නගර සභා, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මගින් කිසිඳු සංවර්ධනයක් හෝ ජනතා සේවයක් සිදු නොවන බව අවබෝධ කරගත් විපක්‍ෂය, එම ආයතන ප්‍රතික්ෂේප කරමින් ඒ සඳහා මුදල් වෙන් කරන වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 02 දින මහරගම නගරයේ පැවැති ජනහමුවක දී පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් රටේ බලය ලබාගත් නගර සභා හා ප්‍රාදේශීය සභා මගින් තම ප්‍රදේශයේ සංවර්ධනයක් සිදු කරනු ඇතැයි ජනතාව අපේක්‍ෂා කළ ද අද වන විට ඒ අපේක්‍ෂාවන් බිඳවැටී කිසිඳු මහජන සේවාවක් ඉටුනොකරන ආයතන බවට එම ආයතන පත්ව තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

හෝමාගම නාගරික උද්‍යානය විවෘත කිරීම, තාක්‍ෂණ නගර පිවිසුම් මාර්ගයට මුල්ගල තැබීම සහ මහරගම බහු මහල් රථාංගනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව මහරගම නගර සභාව ඉදිරිපිට පැවැති ජනහමුව අමතා මේ බව පැවසූ වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේ ද කීය.

අද මහරගම සුඛිත පුරවරයේ සිව්මහල් රථ ගාලත්, හෝමාගම නාගරික උද්‍යානයත්  විවෘත කරන්න මට අවස්ථාව ලැබුණා. මෙම සිව් මහල් රථ වාහන අංගනය, මහරගම සුඛිත නගරයක් කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 230 න් එක් ව්‍යාපෘතියක් පමණක් බව කිව යුතුයි. ඒ වගේම හෝමාගම නාගරික උද්‍යානය, හෝමාගම සුඛිත නගරයක් වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ව්‍යපෘති 141න් එක් ව්‍යාපෘතියක් පමණයි.

ඒ අනුව හෝමාගම සහ මහරගම නගර ආශ්‍රිතව පමණක් ව්‍යපෘති 371 ක්‍රියාත්මක කෙරෙනවා. මෙම ව්‍යාපෘති මගින් සිදු කරන්නේ කොළඹ නගරය මෙන්ම ඒ අවට අනෙකුත් නගරයන් ද මහ නගරයකට පරිවර්ථනය කිරීමේ සුවිසල් කාර්යභාරයයි. ඒ අනුව මහරගම, හෝමාගම, කොට්ටාව, කොලොන්නාව ඇතුලු සෑම ප්‍රදේශයකම විශාල පරිවර්තනයක් අපි දකිනවා. අලුත් අදහස්, අලුත් සැලසුම් අනුව අපි ඒ කටයුතු සිදු කරනවා.

මෙවැනි අලුත් අදහස් සහ අලුත් සැලසුම් සහිත ව්‍යාපෘති අපි මීට පෙර දැක නැහැ. පසුගිය කාලයේ නාගරික සංවර්ධනය ලොකු පම්පෝරි ගැසුවත් සංවර්ධනයක් ඇති වුණේ නැහැ.

ඒ වගේම ප්‍රවාහනය හා ගමනා ගමනය දියුණු කිරීමට අලුත් මාර්ග පද්දතියක් සකස් කරනවා. ඒ අනුව පසුගිය දා විවෘත කෙරුණු හෝමාගම බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය මෙන්ම කැලණි පාලමේ සිට කොළඹ වරායට සහ රාජගිරිට ඉදිවන නව ගුවන් මාර්ගය ඇතුලු නව ව්‍යාපෘති, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැනි වැඩසටහන් ගණනාවක් කොළඹ නගරය තුළ සිදුකෙරෙනවා.

මේවා අපි සැලසුම් සහගතව ආරම්භ කරන වැඩසටහන් බව කිව යුතුයි. මේ වැඩකටයුතු සදහා නායකත්වය දුන් අපේ චම්පික රණවක අමාත්‍යතුමා මගේ ස්තුතිය හා ප්‍රශංසාව පළ කරනවා. එතුමා කොළඹ පමණක් නොව ලංකාව පුරා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ යටතේ අපේ පැරණි නවීකරණය කරමින් 21 වන ශත වර්ෂයට ගැලපෙන නාගරික ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කර තිබෙනවා.

මහරගම නගරය නවීකරණය කිරීමට පමණක් මෙම කාලය තුළ රුපියල් මිලියන 900 ක් වියදම් කරලා තිබෙනවා. නමුත් 2010 – 2015 කාලය තුළ මෙවැනි වැඩපිළිවෙලක් අපි දුටුවේ නැහැ. නාගරික නවීකරණය සඳහා අපි දැනට රුපියල් මිලියන 80,000 – 90,000 ක් පමණ වැය කර තිබෙනවා.

පාඨලී චම්පික රණවක අමාත්‍යතුමාගේ සංකල්පය අනුව මධ්‍යම පන්තියට නවීන ජීවන ක්‍රමයක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම කොළඹ අඩු ආදායම් ලාභීන්ට තට්ටු නිවාස ලබා දී ඔවුන්ගේ ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන වසර 10 ක දැවැන්ත සැලැස්මක් අනුව මේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. මීට පෙර මම අමාත්‍යාංශය බාර ගත් කිසිවෙක් මෙවැනි දැවැන්ත වැඩසටහනක් ආරම්භ කළේ නැහැ.

මේ රටේ පළමුවෙන්ම විශාල පරිවර්තනයක් ඇති 1977 විවෘත ආර්ථිකයත් සමගයි. ඉන් අනතුරුව 21 වන ශත වර්ෂය වන විට ඉන්දියන් සාගරයේ ප්‍රධානම නගරය ලෙස කොළඹ මහනගරය පත් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු පාඨලී චම්පික රණවක අමාත්‍යතුමා සිදුකරමින් සිටිනවා.

ඒ වගේම මහනුවර, කුරුණෑගල, ගම්පහ ආදී සියලු නගරවල සංවර්ධන කටයුතු මේ වන විටත් ආරම්භ කොට තිබෙනවා. ඉදිරි වසර 5 තුළ දී නව නගර ගණනාවක් ඇති කිරීමේ අඩිතාලම දමා තිබෙනවා. පළාත් සභාවකට, නගර සභාවකට හෝ ප්‍රාදේශීය සභාවකට තනිව මෙවැනි විශාල මුදල් වැය කරමින් මේ වැඩ කටයුතු සිදු කළ නොහැකියි.

එසේ නම් නගර සභා සහ ප්‍රාදේශීය සභා සියල්ල මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සමග එක්ව වැඩ කටයුතු කළ යුතුයි. එසේ එක්ව වැඩ කටයුතු නොකරන්නේ නම් ජනතාව නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට සිය අප්‍රසාදය පළ කරාවි.

පසුගිය වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වී විරුද්ධ පක්ෂයට එම ආයතනවල බලයට පත්වුණා. එම පළාත් පාලන ආයතනවලින් විශාල දියුණුවක් ඇති කරනු ඇතැයි එහිදී ජනතාව තුළ බලාපොරොත්තුවක් ඇති වුණා.

ආණ්ඩුව කරලා තිබෙන්නේ කුමක්ද, කිසිදු ප්‍රතිපලයක් පෙන්නලා නැතැයි චෝදනා කරමින් විපක්ෂය 2018 වසරේ දී පළාත් පාලන ආයතනවල බලය ලබාගත්තා.  නමුත් එසේ චෝදනා කර වසරක් ගත වන විට අපි සෑම අංශයකින්ම ප්‍රතිඵල පෙන්වීමට පටන් ගෙන තිබෙනවා. මහනගර, නිවාස මෙන්ම වෙළෙද කලාප පිළිබදව නිවැරදි තොරතුරු ලබා ගෙන සැලසුමක් අනුව අපි වැඩ කළ නිසා ඒ ප්‍රතිඵල පෙන්වීමට අපට හැකි වී තිබෙනවා.

නමුත් නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට සිදුවී තිබෙන්නේ කුමක්ද? එම ආයතන නිසි සැලසුමක් අනුව වැඩ කරමින් ප්‍රතිඵල පෙන්වා තිබෙනවාද? නමුත් මේ නගර සභා සහ ප්‍රාදේශීය සභා විපක්ෂයටත් එපා වී තිබෙනවා. විපක්ෂයට බලය හිමි පළාත් පාලන ආයතන වැඩ නොකළ බව විපක්ෂයම අද කියනවා.

අයවැයක දී ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයේ වැඩ කටයුතුවලටත් මුදල් වෙන් කෙරෙනවා. අයවැයක දී සාමාන්‍යයෙන් විපක්ෂයක් උත්සාහ කරන්නේ ආණ්ඩුවේ වැඩ කටයුතුවලට තිබෙන මුදල් අඩු කිරීමටයි. නමුත් මෙවර සිදු වුණේ ඊට හාත්පසින්ම වෙනස් කාරණාවක්…

අයවැය පිළිබඳව වාද විවාද කර, ඡන්දය විමසා විපක්ෂය කර තිබෙන්නේ විපක්ෂයට බහුතරයක බලය හිමි පළාත් පාලන ආයතනවල මුදල් වෙන් කෙරෙන වැය ශීර්ෂ පරාජයට පත් කිරීමයි. මේ අනුව පැහැදිලි වන්නේ තමන්ට පාලන බලය හිමිවී තිබෙන නගර සභා සහ ප්‍රාදේශීය සභා පිළිබදව කලකිරීමක් ඇති බවයි.

නමුත් එම ආයතනවලට අවශ්‍ය මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි එම ආයතනවල විපක්ෂ නායකවරු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් අප්‍රේල් 05 වැනිදාට පෙර අප ඒ සම්බන්ධයෙන් පියවර නොගතහොත් නගර සභාවලට සහ ප්‍රාදේශීය සභාවල කටයුතු සඳහා අවශ්‍ය මුදල් නොලැබී යනවා.

කෙසේ නමුත් අප්‍රේල් 05 වැනි දා එම මුදල් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට අපි සූදානම්. එහෙත් පොදු විපක්ෂය ඊට ද එරෙහි වුණොත් අපට කළ හැකි දෙයක් නැහැ.

අයවැයේ දී අපි බලාපොරොත්තුව සිටියේ ආණ්ඩුවට ඉහළ බලපෑමක් ඇති අමාත්‍යංශයක වැය ශීර්ෂ පරාය කිරීමට විපක්ෂය කටයුතු කරනු ඇති බවයි. නමුත් ඔවුන් සිදු කර තිබෙන්නේ විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවලට මුදල් වෙන් කෙරෙන වැය ශීර්ෂ පරාජය කිරීමයි. මේ පළාත් පාලන ආයතන ගැන විපක්ෂයට තිබෙන්නේ එවැනි සහතිකයක් නම් තවදුටත් එම ආයතන ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ.

නමුත් කොළඹ මහ නගරය ඇතුලු සියලු නගර දියුණු කිරීම සදහා අප සමග එකතුව කටයුතු කරන්නැයි මා පළාත් පාලන ආයතනවලට ආරාධනා කරනවා. අද විවෘත කෙරුණු සිව් මහල් රථාංගනයේ පාලනය ද මහරගම මහ නගර සභාවට බාර දෙනවා.

මහ නගරවල දියුණුව ඇති කිරීම සදහා නායකත්වය ලබා දිය හැක්කේ මේ ආණ්ඩුවට පමණයි. මීට පෙර පැවැති පාලනයන් යටතේ සිදු කළේ කුමක්ද? ඔවුන් සිදු කළේ ණය ගැනීම පමණයි. නමුත් වත්මන් ආණ්ඩුව යටතේ එම සියලු ණය ගෙවා දමමින් අලුත් විශාල වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරියත්, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන්නැයි නැවත වතාවක් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රමුඛ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

PM 2 HomagamaPM 3 Homagama

t

o

p