මේ දිනවල පවත්නා දැඩි නියඟය නිසා අනුරාධපුර පුදබිම ඇසුරෙහි වෙසෙන නිවාස අහිමි සුනඛයන් දැඩි සාපිපාසාවකට පත්ව හිඳිනු පෙනෙයි. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශ වලද තත්ත්වය මෙයම විය හැකි වන අතර ඔවුන්ට පැන් පොදක් දීමෙන් අපගේ උතුම් මිනිසත් බව තහවුරු කර ගනිමු. අවුකන රාජමහාවිහාරයේ නාගබහිරව දේවාලයේ විජේරත්කන බණ්පුඩා කපු මහතා කියන කතාව මෙයය.
ලෝක ප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ හිඳින අවුකන රජමහා විහාරයට යාබදව නාග බහිරව දේවාලයක් තිබේ. ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසට පමණ අයත් ශිලාමය බහිරව රූපයක් ද එම දෙවොල මධ්‍යයේ තැන්පත් කොට ඇත. ‘බහිරව‘ යන නම මා නොයෙක් විට අසා ඇතත් ඒ සම්බන්ධ වැඩි දැනුමක් අවබෝධයක් මා තුළ නැත. එහෙත්, ඉඩකඩම් මිලදී ගැනීම්, නිවාස ඉදිකිරීම් ආදී භූමිය හා සම්බන්ධ කටයුතුවලදී සිදුවන බහිරව පූජා පිළිබඳව නම් නොයෙක් තොරතුරු විටින් විට මගේ සවන් වැකී තිබේ. එහෙත්, ඒවා පිළිබඳ විශ්වාසයක් මා තුළ නැත. එහෙත් මම එම නාග බහිරව දේවාලයේ කපු ධුරන්දර එම්.කේ. විජේකෝන් බණ්ඩා මහතාගෙන් එම බහිරව දේවතාවා සහ බහිරව පූජා පිළිබඳව අසා සිටියෙමි.
“බහිරව දේවතාවුන් වහන්සේ කියන්නේ එක් දේවතාවෙක් හැටියට හඳුන්වන්න බැහැ. මේ දේවතාවරු කට්ටු, ඒ කියන්නේ කණ්ඩායම් හැටියට වැඩ ඉන්නවා. සමහර පැරණි පොතක බහිරව දේවතාවුන් වහන්සේලා හැට හතර කට්ටුවක් ගැන කියැවෙනවා. ඒ අතරේ කෝටි ගණන් බහිරව දේවතාවුන් වහන්සේලා ගැනත් කියැවෙනවා. ප්‍රධාන වශයෙන් බහිරව කියන්නේ කුවේරගේ මහා ධන සම්භාරයට. ඒ කියන්නේ පද්ම නිධියට අරක් ගත්තු එහෙම තැන්නම් භූමියට අරක් ගත්තු දේවතා කොට්ඨාසයක්. මේ සමහර බහිරව දේවතාවුන් වහන්සේලා මේ වගේ පුරාණ සිද්ධස්ථානවලට ආරක්ෂාව දෙනවා. අනුරාධපුර අභයගිරියේ සංඛ බහිරව, පද්ම බහිරව කියන්නේ ඒ වගේ බහිරව දේවතා දෙපළක්. තවත් බහිරව කොටසක් ඉන්නවා නිදන්වලට අධිපති. තවත් බහිරව කොටසක් ආරක්ෂා කරන්නේ මැණික් වගේ පොළොව ඇතුළේ තියන ස්වාභාවික වස්තුව. ඒකයි මම කිව්වේ බහිරව දේවතාවුන් වහන්සේ කියන්නේ එක්කෙනක් නෙවෙයි කියලා.
‘බහිරව දේවතාවුන් වහන්සේලා කොටස් දෙකක් ඉන්නවා. ආතාල බහිරව, පාතාල බහිරව කියන්නේ ඒ කොටස් දෙක. ආතාල බහිරව කියන්නේ ආකාසයේ, ඒ කියන්නේ මිහිපිට තියන සම්පත් බලාගන්න බහිරව දේවතාවුන් වහන්සේලාට. පාතාල බහිරව කියන්නේ පොළොව ඇතුළේ තියන වස්තුවට අධිපති බහිරව දේවතාවුන් වහන්සේලාට. ආතාල බහිරව දේවතාවුන් වහන්සේ ගේ මුරකාර සත්වයා බල්ලා; පාතාල බහිරව දේවතාවුන් වහන්සේගේ සංකේතය තමයි නයා.
“එතකොට මොනවද කපු මහත්තයෝ ඔය බහිරව පූජා කියන්නේ?” ඉන්පසුව මම නොයෙක් අවස්ථාවල අසා පුරුදු වදනක් පිළිබඳව ඔහුගෙන් විමසා සිටියෙමි.
“බහිරව පූජා කියලා පූජා ක්‍රම සිය දහස් ගණනක් තියනවා. ඒවා අවුරුදු සිය දාස් ගාණක් තිස්සේ මේ රටේ තිබුණු බව ඇත්ත. නමුත් අද නම් බහිරව පූජාව එහෙම් පිටින්ම වගේ කුණු ජාවාරමක් බවට පත් වෙලා” කපු මහතා කීය.
“මේ අවුකන පිළිම වහන්සේ වැඳපුදා ගන්න සතියකට දහස් ගාණක් මේ පුදබිමට එනවා. ඒ අයගෙන් සැහෙන කොටසක් මේ දේවාලයටත් ගොඩවැදිලා යන්න අමතක කරන්නේ නැහැ. ඒ සමහර අය තම තමන්ගේ ගේ දොර ඉඩකඩම් මුල් කරගෙන කරවා ගත්තු සමහර බහිරව පූජා ගැන කියනවා. ඒවා ඇහුවම මගේ හිතට ලොකු දුකක් දැනෙනවා” විජේරත්න බණ්ඩා කපු මහතා කීය.
“ඒ මොකද දුකක් දැනෙන්නේ?” මම ඇසීමි
“බහිරව පූජාවලට කියලා රුපියල් දහස් ගණන් විතරක් නෙවෙයි ලක්ෂ ගණන් පවා නිකරුණේ වියදම් කර ගත්තු අය මට මුණ ගැහිලා තියනවා. මේක අද සමාජයේ මහා පරිමාණ ගසා කෑමක්” විජේරත්න බණ්ඩා කපු මහතා දුක්මුසුව සිනාසුණි.
“හොඳයි කොහොම වුණත් ඉතින් බහිරව පූජාවක් වෙනුවෙන් තරමක හරි වියදමක් යනවනෙ. ඒත් මට දැන ගන්න ඕනේ එක සතපහක්වත් වියදම් නොගිහින් ගේ දොර ඉඩකඩම්වලට බහිරව දේවතාවුන් වහන්සේගේ පිහිටාරක්ෂාව ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියනවද කියලා” එබඳු පාරම්පරික ගුප්ත විශ්වාස කෙරෙහි තැකීමක් නොමැති බැවින් මම සිනාසෙමින් ඇසීමි.
“මොකද නැත්තේ තියනවා” මා කෙසේවත් අපේක්ෂා නොකළ පරිදි කපු මහතා කීය.
“මම කිව්වනේ ආතාල බහිරව දේවතාවුන් වහන්සේගේ ආරක්ෂක සත්වයා බල්ලා කියලා. ඒ හින්දා අනුරාධපුරය පූජා නගරය, එතකොට මෙහේ වගේ පුරාණ ආගමික ස්ථාන අවට ඉන්න බල්ලන්ට බහිරව දේවතාවුන් වහන්සේගේ ඇල්ම බැල්ම වැටෙනවා. මේ වගේ තැන්වල ඉන්න සමහර බලු රංචු කෙම්මුර දවස්වල රෑ පෙරයමේ හිටපු ගමන් තමන්ගේ හාම්පුතෙක් ආවා වගේ කටින් අමුතු සද්ද කර කර වලිග වන වනා හුරතල් වෙන හැටි අපි ඕනෑ තරම් දැකලා තියනවා. ඒත් බැලුවම කවුරුත් නෑ. ඒත් අපේ ආතලා, මුත්තලා ඒ වගේම මේ පන්සල්වල වැඩ වාසය කරපු පරණ හාමුදුරුවරු මේ කාරණය සහසුද්දෙන්ම දැනගෙන හිටියා. ඒ තමයි මේ වගේ සිද්ධස්ථානවලට බහිරව දේවතාවුන් වහන්සේගේ ඇල්ම බැල්ම වැටෙන වෙලාව. ඉතින් මේ වගේ බහිරව දේවතාවුන් වහන්සේගේ ඇල්ම බැල්ම වැටෙන පූජනීය ස්ථානයකින් බලු පැටියෙක් හරි වැඩුණු බල්ලෙක් හරි අරගෙන ගිහින් හොඳට කවලා පොවලා සාත්තු සප්පායම් කළාම ඒ ගේ දොර ඉඩකඩම්වලටත් බහිරව දේවතාවුන් වහන්සේගේ ඇල්ම බැල්ම ආරක්ෂාව රැකවරණය ඉබේම ලැබෙනවා. ඒක තමයි කාටහරි කරන්න පුළුවන් හොඳම, ඒ වගේම පහසුම බහිරව පූජාව.“ විජේරත්න බණ්ඩා කපු මහතා කීය. ඔහු කී එම කරුණු මට පෞද්ගලිකව පිළිගත නොහැක. එමෙන්ම ඒවා විද්‍යාත්මක චින්තනයෙහි හොවා අර්ථ දැක්වීමටද මට කෙසේවත් නොපුළුවන. එහෙත් ඔහු විසින් ඉදිරිපත් කරන ලද මෙම කරුණු හුදෙක් මිථ්‍යාවක් අසත්‍යයක් හෝ ප්‍රබන්ධයක් සේ උපහාසයෙන් බැහැර කිරීමේ ‘ලෝබ සිතක්’ ද මා තුළ උපදින බව නොකියාම බැරිය. ඒ මේවායේ කිනම් හෝ අගයක් වටිනාකමක් ඇති බව මගේ ඇතුළු හදවතට හැඟෙන බැවිනි.
සටහන – සුරංගි අබේකෝන්
ඡායාරූප – වෛද්‍ය සුගත් විජේවර්ධන