ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා නිසා ජනතාවට අලුත් අවුරුදු සමරන්න සතයක් අතේ නැහැ – ප්‍රසන්න

April 2, 2019

 

ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලාගේ සැලසුම් නිසා අසරණ වී ඇති ජනතාවට අලුත් අවුරුදු සමරන්න සතයක් අතේ නැති වාතාවරණයක් උදා වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මාසික වැටුපෙන් බිල් සහ බදු ගෙවා නට්ටන් වී ඇති ජනතාවට රාත්‍රියේ නිවසට විත් නිදහසේ රූපවාහිනිය නැරැඹීමටවත් විදුලිය නොමැති බව පෙන්වාදුන් රණතුංග මහතා ජනතාවගේ මූලික අවශ්‍යතාවත් ඉටුකර ගත නොහැකි ආණ්ඩුව වහාම ගෙදර යා යුතු බවත් ප්‍රකාශ කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ගම සමඟ පිළිසඳරක් වැඩසටහනට සමගාමීව මාතර, කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ ඊයේ (30) පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

දැන් ගෙවීගෙන යන්නේ මාර්තු මාසයේ අවසන් දින දෙකයි. ඊළඟට අප්‍රේල් මාසය ආරම්භ වෙනවා. අප්‍රේල් මාසයේ සිට හරියටම මාස හතකට පස්සේ මේ රටේ තීරණාත්මකම ජනාධිපතිවරණයට දින වකවානු ආරම්භ වෙනවා. නිසැක වශයෙන්ම නොවැම්බර් මාසය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.

අප්‍රේල් මාසේ අවුරුදු කාලා, මැයි, ජූනි මාසවල වෙසක් පොසොන් සමරලා  මාස දෙක තුනක් යන විට පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දෙන උත්සවයට තමුන්නාන්සේලා කාටත් සහභාගී වෙන්න පුළුවන්. වහපාලනයක් වෙච්ච යහපාලන ආණ්ඩුවේ අන්තිම මාස කිහිපය තමයි මේ ගත වෙමින් තියෙන්නේ.

ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදිලා ත්‍රස්තවාදය පරාජය කරන්නට හැකි වුණා වගේම දිවි පුදා හෝ මේ ආණ්ඩුවත් පරාජය කරන්න අපි අපකැප වෙලා ඉන්නවා. මහ දවාලේ බැංකු මංකොල්ල කන, විදේශිකයන් හට ජාතික සම්පත් විකුණා දැමූ, සංවර්ධනය, ආර්ථික විනාශ කරපු මේ ආණ්ඩුව පරාජය කරන එක අපේ යුතුකමක්.

තවත් කාලයක් මේ ආණ්ඩුව බලයේ හිටියොත් ජනතාවට සිද්ධ වෙන්නේ හිඟා කන්නයි. තව සති දෙකකින් සිංහල අලුත් අවුරුද්ද ලබනවා. තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න අලුත් අවුරුද්ද සමරන්න අතේ සතයක් ඉතුරු වෙලා තියෙනවද කියලා. ආණ්ඩුවේ බදු ගෙව්වම මිනිස්සුන්ගේ මාසේ පඩිය ඉවරයි.

පඩිය අරන් බදු ගෙවනවා, බිල් ගෙවනවා. හැබැයි රෑට ගෙදර ඇවිත් රූපවාහිනිය බලන්නවත් කරන්ට් එක නැහැ. තව ටික දවසකින් වතුරත් නැහැ. ජනතාවට වැලේ වැල් නැති වුණත් ආණ්ඩුවට ගාණක් නැහැ. අගමැතිවරයයි පිරිවරයි මෝඩ ආතල් දිදී රට වටේ ඇවිද ඇවිද ඉන්න එක තරමයි කරන්නේ.

තවදුරටත් මේ විදියට රටක් ඉදිරියට යන්න ඉඩ තියන්න බැහැ. ජනතාවගේ මූලික අවශ්‍යතා ටිකවත් ඉටු කරන්න බැරි ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි. එහෙම නොවුණොත් අපි ආණ්ඩුව ගෙදර යවනවා. පෙරළන්න බැරි තුනෙන් දෙකක් තිබුණු ආණ්ඩුව අපි එක වතාවක් පෙරළුවා. රනිල් වික්‍රමසිංහට අගමැතිකම නැති කරලා පාරවල් ගාණේ ඇවිද්දුවා.

අයවැය පරද්දන්න අපට පුළුවන්කම තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්ද විමසීම අවස්ථාවේ පැනලා ගිය නිසා ඒ අවස්ථාවට අපට අහිමි වුණා. ඒත් අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජය කරලා ආණ්ඩුවට පාඩමක් උගන්වන්න අපට හැකි වුණා. අපි වැය ශීර්ෂ දෙකක් පරාජය කළේ කාගෙවත් සහයක් නැතිවයි.

ඒ නිසා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නත් අපට ශක්තිය තිබෙනවා. පළාත් පාලන මැතිවරණයෙන් ලබපු විශිෂ්ට ජයග්‍රහණය මෙවර ජනාධිපතිවරණයේ දී විජයග්‍රහණයක් කරගන්න පොහොට්ටුව වටා එකතු වෙලා ඉන්න ජනතාවගේ ශක්තිය අපට ලැබෙනවා. ඒ නිසා අපේ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ.

 

t

o

p